Tuesday, May 26, 2026
Follow Us
කොළඹ නාගරික කලාපයේ ඇළ මාර්ග හා ඇවිදින මංතීරු නඩත්තු කටයුතු සඳහා ඒකාබද්ධ ආයතනික සැලැස්මක්
කොළඹ සහ ඊට ආසන්න ප්රදේශවල ජලාශ, ජල බස්නා ඇළ මාර්ග සහ ඇවිදින මංතීරු විධිමත්ව නඩත්තු කිරීම සඳහා ආයතනික ඒකාබද්ධ සැලැස්මකට අනුව කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා ප්රකාශ කළේය.

 

ඔහු මෙම අදහස් පළ කළේ මහරගම නගර සභා බල ප්රදේශයේ තලවතුගොඩ ජලාශයේ සිදුකරන ප්රතිසංස්කරණ කටයුතු සහ ඒ ආශ්රිතව පවතින ඇළ මාර්ග හා ඇවිදින මංතීරුවල තත්ත්වය සොයා බැලීම සඳහා ඊයේ ( 25) සිදුකළ ක්ෂේත්ර පරීක්ෂණයකදීය.
 
නාගරික සංවර්ධනයට අයත් ප්රධාන රාජ්ය ආයතන දෙකක් වන නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් සැලැස්මකට අනුව ඒකාබද්ධව තිරසර නඩත්තු කටයුතු සිදු කරන ලෙස නියෝජ්ය අමාත්යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
 
එමෙන්ම දීර්ඝ කාලයක් පුරා නිසි නඩත්තු ක්රියාවලියක් සිදු නොවන බවට ප්රදේශවාසීන්ගෙන් එල්ල වන විවේචන සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ නිරීක්ෂණයට නියෝජ්ය අමාත්යවරයා එක් වූ අතර, කඩිනමින් ජනතාවට සුවපහසු මෙන්ම සුන්දර පරිසර ස්ථාන බවට මෙම ප්රදේශ පත් කිරීම සඳහා කෙටි හා දිගුකාලීන ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාව ද අවධාරණය කළේය.
මෙම ක්ෂේත්ර පරීක්ෂණයට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ (ඉඩම් සංවර්ධන) එච්. ඩබ්ලිව්. සෝමරත්න මහතා, ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්ය සාමාන්යාධිකාරී ඉංජිනේරු එස්. පී. මුතුමාල මහතා, මහරගම නගර සභාවේ නාගරික මන්ත්රී සරත් සමරවික්රම මහතා ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.