ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරය සාර්ථකව නිම කර ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව ලෝක නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ තාක්ෂණ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වුණු අතර ජනාධිපතිවරයා පසුගිය 19 වනදා ඊට සහභාගී විය.
19 වනදා පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි නායක සැසිය ඇමතූ අතර, මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් හා හැකියාවන් ප්‍රවර්ධනයට AI තාක්ෂණය ඉවහල් කරගත යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම, සමුළුව අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, බ්‍රසීලයේ ජනාධිපති Lula da Silva, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, භූතානයේ අගමැති Tshering Tobgay යන මහත්වරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් විය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක්ද ඊයේ (20) පැවැත්විණි.
මේ අතර, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා සමඟ හමුවකටද එක් විය.