Wednesday, October 22, 2025
Follow Us
ශ්රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් මධ්යම පරිසර අධිකාරිය සංවිධාන කරන “ජනාධිපති පරිසර සම්මාන - 2025” සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ප්රධානත්වයෙන් 2025 ඔක්තෝම්බර් 23 වැනි දා පෙ.ව. 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

මෙම අවස්ථාවට පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා, කර්මාන්ත සහ ව්යවසායකත්ව අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා, පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර අමාත්යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ඇතුළු නිලධාරීන්, මධ්යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන්, සම්මානලාභීන් සහ තවත් සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගීවීමට නියමිතය.
 
මෙවර සම්මාන උළෙලේ දී සම්මාන 132ක් හිමිකර ගැනීමට තරඟකරුවන් සමත්කම් දක්වා ඇත. එම සම්මාන අතරට රන් සම්මාන 17ක් ද රිදී සම්මාන 29ක් ද ලෝකඩ සම්මාන 38ක් ද කුසලතා සම්මාන 47ක් ද ජූරියේ විශේෂ සම්මාන එකක් ද ඇතුළත් ය. සම්මාන උත්සවයේ ඇගයීම් කටයුතු ඒ ඒ අංශයට අදාළ විශේෂඥයින්ගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකරනු ලැබූ අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ. “ජනාධිපති පරිසර සම්මාන - 2025” උළෙලේ දී පිරිනමන සම්මාන සියල්ල පරිසර හිතකාමී ලෙස නිර්මාණය කරනු ලැබූ ඒවා වන අතර ප්රතිචක්රීකරණය කරනු ලබන ඇලුමිනියම් ටින් මේ සඳහා උපයෝගී කර ගෙන ඇත.
 
ජනාධිපති පරිසර සම්මාන සඳහා අයඳුම් කිරීමේ දී “කර්මාන්ත අංශය”, “ව්යාපෘති අංශ” සහ “ආයතන, ජනමාධ්ය හා සමාජ අංශය” යන ප්රධාන අංශ තුන යටතේ මේ සඳහා අයඳුම් කළ හැකිය. ඒ අනුව “කර්මාන්ත අංශය”; “මහා පරිමාන” සහ “සුළු හා මධ්ය පරිමාන” ලෙස අනු අංශ දෙකකි. මෙම අනු අංශ දෙකෙහි වෙන වෙන ම වර්ග 16 බැගින් වේ. “පොදු අපද්රව්ය පිරිපහදු කළමනාකරණ පද්ධති/ ඝන අපද්රව්ය නැවත ලබා ගැනීමේ/ ප්රතිචක්රීකරණ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත”, “රසායනික නිෂ්පාදන කර්මාන්ත”, “වාහන සේවා ස්ථාන”, “ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත”, “හෝටල්”, “රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්ත”, “ඖෂධ නිෂ්පාදන සහ රූපලාවන්ය නිෂ්පාදන කර්මාන්ත”, “ආරෝග්ය ශාලා”, “රබර් ආශ්රිත කර්මාන්ත”, “සත්ත්ව ගොවිපළ”, “නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත”, “තේ සැකසුම් කර්මාන්තශාලා”, “ඇසුරුම් ද්රව්ය නිෂ්පාදන කර්මාන්ත (මුද්රණ කටයුතු සහිත)”, “ඛනිජ ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත”, “දැවමය ආශ්රිත නිෂ්පාදන” සහ “ලෝහ/ යකඩ නොවන ලෝහ/ යන්ත්රෝපකරණ/ විදුලි/ ඉලෙක්ට්රොණික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හෝ එකලස් කිරීමේ කර්මාන්ත” එම වර්ග 16 වේ.
 
“ව්යාපෘති අංශය” එක් අනු අංශයකින් සහ වර්ග තුනකින් සමන්විත වේ. එනම් “පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්යාපෘති” යන අනු අංශය යටතේ “කුඩා පරිමාන ජල විදුලි ව්යාපෘති” “සූර්ය බල ව්යාපෘති” සහ “සුළං බල විදුලි උත්පාදන ව්යාපෘති” ලෙස වර්ග තුනකි.
 
“ආයතන, ජනමාධ්ය හා සමාජ අංශය” යටතේ ඇගයීමට ලක්කරන අංශ හතක් පවතී. “පාසල්”, “පරිසර හිතකාමී රාජ්ය ආයතන”, “පරිසර හිතකාමී පෞද්ගලික ආයතන”, “පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්ය නොවන පරිසර සංවිධාන”, “පරිසර හිතකාමී නව නිර්මාණ (“පාසල්”, “විශ්වවිද්යාල හා තෘතීයික අධ්යාපන ආයතන” සහ “විවෘත අංශය”), “ජනමාධ්ය අංශය” (“තනිපුද්ගල” සහ “පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා” ලෙස මෙහි වර්ග දෙකකි) සහ “සමාජ මාධ්ය අංශය” (“ෆේස්බුක් පිටුව” සහ “යූටියුබ් නාලිකව”) යනු “ආයතන, ජනමාධ්ය හා සමාජ අංශය” යටතේ ඇති අනු අංශ හතයි. “සමාජ මාධ්ය අංශය” මෙවර ඇතුළත් කළ නව අංශයකි.
 
මෙවර “ජනාධිපති පරිසර සම්මාන” වැඩසටහන ක්රිියාත්මක කරනු ලබන්නේ “දැකුම්කළු දිවයිනක්, සොම්නසින් පිරි ජනතාවක්” යන දැක්ම පෙරදැරිව ක්රියාත්මක කරන “ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගනිමිනි.