Tuesday, August 25, 2026
Follow Us
සංචාරක ව්‍යාපාරයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක ලෝක බැංකු ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ ස්වභාව ධර්මය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා Tourism for Heritage, Resilience, Inclusion and Value-driven Employment (THRIVE) – Nature ව්‍යාපෘතිය සකස් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක ප්‍රදානයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබෙන අතර එම අරමුදල යොදා ගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, ව්‍යාපෘති සූදානම් කිරීමේ ප්‍රදාන පහසුකම (Grant Facility for Project Preparation – GFPP) යටතේ මාස 18ක කාලයක් සඳහා මෙම ප්‍රදානය ලබාදීමට නියමිතය.

ස්වභාව ධර්මය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාව තුළ ඉහළ විභවතාවක් පවතින නමුත්, සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමයෙන් ඉහළ යාමට සාපේක්ෂව සංචාරක ආදායමේ වර්ධනය අඩු මට්ටමක පවතින බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ස්වභාව ධර්මය මත පදනම් වූ සංචාරක ගමනාන්තවල වාසස්ථාන වැඩිදියුණු කිරීම සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යෝජිත THRIVE – Nature ව්‍යාපෘතිය මගින් අවධානය යොමු කිරීමට නියමිතය.

එමෙන්ම, ලෝක බැංකු මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමටද මෙම ව්‍යාපෘතිය මගින් සහාය ලබාදෙනු ඇත.