• මුලතිව් දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන් 515 දෙනෙකුට රුපියල් මිලියන 22.7ක සහනාධාර චෙක් පත් සහ පොල් පැළ 3,000ක් බෙදා දෙයි
2030 වන විට ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වාත්, වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 4,200ක් දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන “කප්තුරු සවිය” පරිවර්තනීය වැඩසටහන යටතේ “උතුරු පොල් ත්‍රිකෝණය” වැඩසටහනේ තවත් වැදගත් අදියරක් ලෙස සහනාධාර ප්‍රදානය සහ පොල් පැළ බෙදාදීම පසුගියදා (07) මුලතිව්, මුල්ලියවල ප්‍රදේශයේදී සිදු කෙරිණි.
මෙහිදී පොල් ඉඩම් සඳහා ජල සම්පාදන පද්ධති ඉදිකිරීම වෙනුවෙන් පොල් වගාකරුවන් 443 දෙනෙකුට සහනාධාර චෙක්පත් ප්‍රදානය කළ අතර, විශේෂ පොල් ඉඩම් පුනරුත්ථාපන සහනාධාර වැඩසටහන යටතේ තවත් වගාකරුවන් 72 දෙනෙකුට සහනාධාර චෙක්පත් පිරිනමන ලදි.
ඒ අනුව, ප්‍රතිලාභීන් 515 දෙනෙකු වෙත රුපියල් මිලියන 22.7ක සමස්ත සහනාධාර මුදලක් ලබාදෙන ලදී. මීට අමතරව, උතුරු පළාතේ පොල් වගාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් පොල් පැළ 3,000ක් පමණ වගාකරුවන් වෙත බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.
“උතුරු පොල් ත්‍රිකෝණය” ජාතික වැඩසටහන පේදුරුතුඩුව, සිලාවතුර සහ කෝකිලායි ප්‍රදේශ සම්බන්ධ කරමින් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ. පසුගිය වසරේ ආරම්භ කළ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ උතුරු පළාතේ පොල් වගාව ව්‍යාප්ත කිරීම, අක්‍රීය ඉඩම් නැවත වගාවට යොමු කිරීම, පොල් වගාකරුවන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සහ ජාතික අපනයන ආර්ථිකයට පොල් කර්මාන්තයෙන් ලබාදෙන දායකත්වය වැඩි කිරීමයි.
“කප්තුරු සවිය” පරිවර්තනීය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන “උතුරු පොල් ත්‍රිකෝණය” මඟින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත නව පොල් නිෂ්පාදන කලාපයක් බවට පත් කිරීම, පොල් වගාකරුවන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම, පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුම තහවුරු කිරීම සහ ජාතික අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණු කරයි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායගම් මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරීන්, පොල් පර්යේෂණ ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන්, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන් සහ ප්‍රතිලාභී වගාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.