අධිකරණවල ගොඩගැසී ඇති විශාල නඩු ප්‍රමාණය කඩිනමින් අඩු කර විනිශ්චයකාරවරුන්ට දැරිය හැකි තත්ත්වයට පත් කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන අභියෝගයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පුගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රුපියල් මිලියන 882.5ක පිරිවැයකින් ඉදිකර ඇති මෙම මහල් තුනකින් සමන්විත නව අධිකරණ සංකීර්ණය තුළ දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන මධ්‍යස්ථානයක් සහ පරිවාස කාර්යාලයක් ඇතුලු පහසුකම් රැසක් ස්ථාපිත කර තිබේ.
එමෙන්ම, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යටතේ නඩු ගොනු කළමනාකරණය සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) ද මෙම අධිකරණයට හඳුන්වා දී ඇත.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතරව තිබූ මෙම ව්‍යාපෘතිය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු යළි ආරම්භ කර අවසන් කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
තවද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් සහ පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවත්, රස පරීක්ෂක වාර්තා කඩිනමින් නිකුත් කිරීම මඟින් බන්ධනාගාර තදබදය අවම කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සහ නව තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමට ද රජය අවධානය යොමු කර ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.