රටේ ප්‍රමුඛතාවලට අනුකූලව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීමට සූදානම් බව IMF නියෝජිතයින් තහවුරු කරයි
ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ රටේ සංවර්ධනයේ ඉදිරි අදියර සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක්ජූනි 30 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
IMF නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කළ අතර, ඉදිරියටත් දෙපාර්ශවය අතර හවුල්කාරිත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළාය.
ගෝලීය අවිනිශ්චිතතා හමුවේ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය ඉදිරි ගමන් මඟ සකස් කරගත යුතු බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන් අතර විශේෂයෙන්ම වෙනස්වන ගෝලීය ප්‍රවණතාවන් හමුවේ බලශක්ති, වරාය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, රටේ බාහිර කම්පනවලට මුහුණ දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද සඳහන් කළාය.
IMF නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙන්ම, රටේ උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටීම සහ ආර්ථිකය ස්ථාවරත්වය ඇගයීමට ලක් කළහ. එමෙන්ම ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මතුව ඇති අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දීමට සූදානම් බව ඔවුන් තවදුරටත් අවධාරණය කළහ.
වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම, සියල්ල ඇතුළත් ආර්ථිකයක් ගොඩ නැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සංවර්ධනය ළඟා කරගැනීමේ දී ආර්ථික සංවර්ධනය සහ සමාජ ආරක්ෂණය යන දෙකම සමඟ ඉදිරියට යා යුතු බවත් එය ළඟා කර ගැනීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය සහ අපජල පද්ධති වැනි ක්ෂේත්‍ර ඇතුළුව ශක්තිමත් පොදු යටිතල පහසුකම් අත්‍යවශ්‍ය බවද අග්‍රාමත්‍යතුමිය තවදුරටත් පෙන්වා දුන්නාය. එසේම, කාර්යක්ෂම රාජ්‍ය සේවා සැපයීමට බාධාවක් වී ඇති මානව සම්පත් ගැටළු සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් අවධාරණය කළාය.
මෙම අවස්ථාවට IMF ආසියා හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sonali Jain-Chandra මහත්මිය, ශ්‍රී ලංකාව සඳහා වන IMF දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou මහතා, ශ්‍රී ලංකාවේ IMF නේවාසික නියෝජිත Martha Woldemichael මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය සහ මහ බැංකුවේ නිලධාරීන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.