Sunday, May 17, 2026
Follow Us

ඉන්දීය යුද නෞකාවක් වන IOS Sagar නෞකාව ඊයේ කොළඹ වරායට පැමිණියේය.

රටවල් අතර මිත්‍රත්වය සහ නාවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

මෙම නෞකාවේ විවිධ රටවල නාවික නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විත බහුජාතික කණ්ඩායමක් සිටින අතර, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, තායිලන්තය, තිමෝර්-ලෙස්ටේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නාවික සාමාජිකයින් මෙම මෙහෙයුමට එක්ව සිටිති.

නෞකාව අප්‍රේල් 02 වැනිදා මුම්බායි වරායෙන් මුහුදු මෙහෙයුම් සඳහා පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මෙම බහුජාතික නාවික කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ වෘත්තීයමය අන්තර්ක්‍රියා වැඩසටහන් කිහිපයකට එක්වීමට නියමිතය.

එමෙන්ම, දිවයිනේ වැදගත් සංචාරක හා උරුම ස්ථාන කිහිපයක සංචාරය කරමින් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික හා සංස්කෘතික උරුමය අත්විඳීමටද ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇත.