ශ්රී ලංකාව ගෝලීය ඩිජිටල් සිතියමේ ප්රමුඛතම මධ්යස්ථානයක් බවට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, PayPal සේවාව මෙරටට හඳුන්වා දීම සඳහා වන මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා මේ වන විට ඉතා සාර්ථක මට්ටමින් ක්රියාත්මක වන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සේවාව මෙරට ස්ථාපිත වීම, ශ්රී ලාංකීය ඩිජිටල් ව්යවසායකයන්ට සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට නව දොරටු රැසක් විවෘත කරන ඓතිහාසික පියවරකි.
මේ ඔස්සේ නිදහස් වෘත්තිකයන් (Freelancers) සවිබල ගැන්වෙන අතර ගෝලීය වෙළඳපොළ තුළ තම සේවාවන් අලෙවි කරන දක්ෂ තරුණ පරපුරට තම ආදායම සෘජුවම සහ සුරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට ඇති බාධා ඉවත් වනු ඇත.
එමෙන්ම විදේශ විනිමය උත්පාදනය මඟින් තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්රය හරහා මෙරටට ලැබෙන විදේශ විනිමය ප්රමාණය ඉහළ නංවා ගැනීමට සෘජු දායකත්වයක් ද හිමිවේ.
කුඩා හා මධ්ය පරිමාණ ඩිජිටල් ව්යවසායකයන්ට තම නිෂ්පාදන ලොව ඕනෑම රටක පාරිභෝගිකයෙකු වෙත පහසුවෙන් අලෙවි කිරීමට අවස්ථාව සැලසීම මෙහි තවත් අරමුණක් වන අතර ශ්රී ලංකාව තුළ මුදල් රහිත ගනුදෙනු ප්රචලිත කිරීම සහ මූල්ය තාක්ෂණික අංශයේ නවෝත්පාදනයන් දිරිමත් කිරීමට ද මෙය දායකවනු ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්යාංශය ලෙස අපගේ ඉලක්කය වන්නේ, තාක්ෂණික බාධාවන්ගෙන් තොරව ජාත්යන්තරය සමඟ ගනුදෙනු කළ හැකි "ඩිජිටල් ලෙස සවිබල ගැන්වූ ශ්රී ලංකාවක්" නිර්මාණය කිරීමයි.