Monday, March 30, 2026
Follow Us
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කෝප් කමිටුවෙන් උපදෙස්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති ආරම්භයේ සිට අවසානය තෙක්  අධීක්ෂණය කිරීම සඳහා  වගකිවයුතු  නිලධාරියෙක් නෑ - කෝප් කමිටුවේදී  අනාවරණය වෙයි.

  • අභ්‍යන්තර විගණනය ශක්තිමත් කර විෂමාචාර ක්‍රියාවන් සිදු වීම වැළැක්වීමට කටයුතු කරන්න - කෝප් කමිටුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ආරම්භ කරනු ලබන විවිධ ව්‍යාපෘති ඒවායේ අවසානය තෙක් අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු නිලධාරියෙකු නොමැති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (CoPE) අනාවරණය විය.

ඒ හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් අපේක්ෂිත සේවය නිසි ආකාරයෙන් ලබා ගැනීමට නොහැකි වී ඇති බව කෝප් කාරක සභාව පෙන්වා දෙන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් කාරක සභාව 2026.03.20 දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘති සැලසුම් කළ කාලයට අවසන් නොකිරීම හා අවසන් කිරීමට සැලසුම් කළ කාලයට වඩා දෙගුණයකට වඩා කාලයක් ගත වීම පිළිබඳව සිය නොසතුට පළ කළේය.

කෙසේ වෙතත් මණ්ඩලය මගින් ආරම්භ කර ඇති ව්‍යාපෘති අධීක්ෂණය සඳහා වගකිව යුතු පිරිස් නොමැතිකම හේතුවෙන් මතුව ඇති ගැටලු නිරාකරණය සඳහා වෙනම යාන්ත්‍රණයක් සැකසීමට සැලසුම් කර ඇති බවද නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පැවසීය.

ඒ අනුව ජලාපවහන මණ්ඩලය මගින් ආරම්භ කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ ඔස්සේ ව්‍යාපෘතියක් ආරම්භයේ සිට අවසානය දක්වා එම ව්‍යාපෘතිවල  සාර්ථකත්වය, ගුණාත්මකභාවය ඇතුළු සියලු කටයුතු පරීක්ෂා කිරීම හා අධීක්ෂණය කිරීම සිදු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභාවට අවධාරණය කළේය.

එමෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශයේ අනුමත කාර්යමණ්ඩලය 126 ක් වුවද මේ වන විට ඉන් තනතුරු 19ක පුරප්පාඩු පැවතීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. අභ්‍යන්තර විගණනය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන්නේ නම් ආයතනයේ ගැටලුකාරී තත්ත්වයන් වර්ධනය වන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

ඒ හේතුවෙන් අදාළ පුරප්පාඩු සම්පූර්ණ කරමින් අභ්‍යන්තර විගණනය ශක්තිමත් කර විෂමාචාර ක්‍රියාවන් සිදු වීම වැළැක්වීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් ලබා දෙන ලදී.

එමෙන්ම විගණනය විසින් පෙන්වා දී ඇති කරුණු සාකච්ඡා කරමින්, ආයතනයේ විනය පරීක්ෂණ නිසි කාල වකවානුවලට සිදු නොකිරීම පිළිබඳවද කාරක සභාව සිය අසතුට පළ කළේය. ඒ හේතුවෙන් චෝදනාවන්ට ලක් වන පිරිස් අපහසුතාවන්ට පත් වන බවත්, යම් සේවකයෙකු වෙත විනය චෝදනාවක් ගොනු කරන්නේ නම් එය කඩිනමින් විභාග කොට අවසන් තීරණය ලබා දීමට කටයුතු කරන ලෙසද කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

තවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරියෙකු නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වී තිබුණද අමාත්‍යාංශ නිලධාරියෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට කටයුතු කර නොතිබීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අතර, ඒ අනුව පනත සංශෝධනය කරමින් අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නිලධාරීහු පැවසූහ.

ආදායම් නොලබන ජල අනුපාතය අවම කිරීම සඳහා දත්ත ලබා ගැනීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික්කය තුළ බෙදා හැරීමට රුපියල් මිලියන 258ක් වැය කර ස්ථාපිත කර තිබූ DMA මීටර් පද්ධති 78න් මීටර් පද්ධති 65ක් 2024.12.31 වන විට දෝෂ නිසා අක්‍රියව පැවතීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ අනුව එම සිද්ධිය පිළිබඳව පූර්ණ වාර්තාවක් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දෙන ලදී..

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන, සමන්මලී ගුණසිංහ, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, තිළිණ සමරකෝන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි,  එම්.කේ.එම්. අස්ලම් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක්  සහභාගී වූහ.