වාර්ෂිකව 11% ක වර්ධන වේගයක් පවත්වා ගනිමින් 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරන ලද 33 වන "NCE අපනයන සම්මාන උළෙල - 2025" සඳහා ප්රධාන ආරාධිතයා ලෙස පසුගියදා (13) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රටේ ආර්ථිකයේ ජීවනාලිය බඳු අපනයනකරුවන් ඇගයීමට ලක්වූ මෙම උළෙලේදී දේශීය අපනයනකරුවන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අමාත්‍යවරයා අවධාරණය කළේය.
2025 වසරේදී ඩොලර් බිලියන 17.2 ක ඉහළම අපනයන ආදායම උපයා ගැනීමට හැකි වීම ඓතිහාසික ජයග්රහණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ආයුර්වේද, රූපලාවන්ය, සහ සුවතා ආගන්තුක සත්කාරය වැනි නව ක්ෂේත්ර 6ක් ඔස්සේ නව අපනයන වෙළෙඳපළ අවස්ථා හඳුනාගෙන තිබෙන බව පෙන්වා දුන්නේය.
ඒ මහතා ප්‍රකාශ කළේ පහසුකම් සැලසීම තුළින් දේශීය නිෂ්පාදකයින් දිරිමත් කිරීමට 'ජාතික තීරුබදු ප්රතිපත්තිය' සහ 'ජාතික තනි කවුළුව' (National Single Window) සංකල්පය කඩිනමින් ක්රියාත්මක කරන බවයි.
වසර 14කට පසු මෙරට පැවැත්වෙන විශාලතම ජාත්යන්තර ප්රදර්ශනය "එක්ස්පෝ 2026" හරහා අපේ දක්ෂතාවයන් ලොවටම පෙන්වීමට සූදානම් බවත් "ණය නැති, විදේශවලට ගැති නොවන, ස්වාධීනත්වය හා අනන්යතාවය රැකගත් ශක්තිමත් දේශීය ආර්ථිකයක්" ගොඩනැගීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙවර සම්මානයෙන් පිදුම් ලැබූ සියලුම දේශීය ව්යවසායකයින්ට අමාත්‍යවරයා සිය උණුසුම් සුබ පැතුම් ද එක් කළේය.