මීගමුව සංචාරක කලාපය කේන්ද්ර කරගනිමින් මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා ජාත්යන්තර වෙළඳපොළක් විවර කර දීමේ අරමුණින්, ශ්රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) 14 වැනි අලෙවි ශාඛාව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් අද (12 දා) මීගමුවේදී විවෘත විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, අතරමැදියන්ගේ ග්රහණයෙන් තොරව දේශීය ශිල්පියාට තම නිෂ්පාදන සඳහා උපරිම වටිනාකමක් ලබා දීම රජයේ ප්රතිපත්තිය වන බවයි.
සංචාරක ආකර්ෂණය සහිත මීගමුව වැනි නගරයක ලක්සල ප්රදර්ශනාගාරයක් ස්ථාපිත කිරීම හරහා මෙරට සංස්කෘතික අනන්යතාවය ලොවට විදහා දැක්වීමටත්, ග්රාමීය ව්යවසායකයින් ශක්තිමත් කිරීමටත් සුවිශේෂී පිටුවහලක් ලැබෙන බව ඔහු අවධාරණය කළේය. බතික්, ලී කැටයම්, මැටි හා පිත්තල භාණ්ඩ මෙන්ම දේශීය මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු උසස් ප්රමිතියෙන් යුතු නිෂ්පාදන රැසක් මෙම නව ශාඛාව හරහා මිලදී ගත හැකිය.
.
ශ්රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපතිනි සුජීවා සේනානායක මහත්මිය සහ ලංකා මෝස්තර මධ්යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු මහතා ද මෙහිදී අදහස් දක්වමින්, දේශීය නිෂ්පාදන සඳහා නවීන මෝස්තර සහ තාක්ෂණය මුසු කරමින් ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව හස්ත කර්මාන්ත ක්ෂේත්රය නංවාලීමට තම ආයතන අඛණ්ඩව කැපවන බව පවසා සිටියහ. අමාත්යාංශයේ අතිරේක ලේකම් සුභද්රා වල්පොල මහත්මිය ඇතුළු නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ ක්රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, මෙරට ආර්ථිකයේ කාර්මික පුනර්ජීවනය උදෙසා ගනු ලැබූ තවත් ප්රශස්ත පියවරක් ලෙස මෙහිදී හඳුන්වා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චම්පික හෙට්ටිආරච්චි මහතා, කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ අතිරේක ලේකම් සුභද්රා වල්පොල මහත්මිය, ශ්රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපතිනි සුජීවා සේනානායක මහත්මිය, ලංකා මෝස්තර මධ්යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.