Sunday, January 11, 2026
Follow Us
විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටු  රැස්වෙයි

විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව (HL-FRAC) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජනවාරි 8) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මෙහිදී පසුගිය ආපදා තත්ත්වයෙන් අනතුරුව ලැබී ඇති සහනාධාර නිසි පරිදි බෙදා හැරීම, එහිදී මතුවන පරිපාලනමය හා මෙහෙයුම් අභියෝග මෙන්ම, සහනාධාර කඩිනමින් ජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම්, සැපයුම් ක්‍රියාවලිය සහ ප්‍රවාහන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

තවද, සහන බෙදා හැරීමේ යාන්ත්‍රණයේ ප්‍රගතිය ඇගයීම සඳහා මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල මෑතකදී සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවල ප්‍රතිඵල ද මෙහිදී සමාලෝචනය කරන ලදි. තවද, සහනාධාර බෙදා හැරීමේ මෙහෙයුම්වල විනිවිදභාවය මෙන්ම වගවීම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ආපදා සහන ද්‍රව්‍ය හා උපකරණ කළමනාකරණ පද්ධතිය (IMS) සම්බන්ධයෙන් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය.

මෙම ආපදා සහන ද්‍රව්‍ය හා උපකරණ කළමනාකරණ පද්ධතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සහ සහන සැපයුම් යාවත්කාලීනව (Real-time) නිරීක්‍ෂණය කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව ද කමිටුව විසින් කරුණු පැහැදිලි කරනු ලැබීය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම ජ්‍යෙෂ්ඨ කමිටුව අවස්ථා කිහිපයකදී රැස්වූ අතර, ඒ ඔස්සේ ආපදා සහන මෙහෙයුම්වල උපරිම කාර්යක්‍ෂමතාව තහවුරු කිරීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගෙන ඇත. ඔරුගොඩවත්ත පිහිටි ගබඩා සංකීර්ණය සහ අනෙකුත් නම් කරන ලද විශේෂ ගබඩා පහසුකම් තුල ගබඩා කර ඇති විදේශ ආපදා සහනාධාර, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා ක්‍රමානුකූලව බෙදා හැරීම මේ වනවිටත් අඛණ්ඩව සිදුකෙරේ.

දැනට විදෙස් රටවල් 22ක් සහ ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් මෙරට ආපදාවට ලක්වූ ජනතාවගේ අවශ්‍යතාවන් සලකා ලබා දී ඇති විවිධාකාරයේ සහනාධාර, නිශ්චිත ක්‍රියාවලියකට අනුකුලව පීඩාවට පත් ජනතාව වෙත බෙදාදීම සිදුකෙරෙමින් පවතී. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් ඇතුළු මුලික අවශ්‍යතාවන් මෙන්ම, ආපදා කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය විවිධ තාක්‍ෂණික උපකරණ ද ඇතුළත් වේ. මීට අමතරව, හානියට ලක් වූ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය විශේෂිත සිවිල් ඉංජිනේරු උපකරණ සහ ප්‍රවාහන පහසුකම් නංවාලීම සඳහා අවශ්‍ය වන විවිධ රථ වාහන ද ඇතුළුව විවිධ ආකාරයේ ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර ප්‍රජාව විසින් මෙරටට ලබා දී ඇත.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය දෙමින්, සියලුම විදේශ ආධාර වගකීමෙන් යුතුව සහ සාධාරණ ලෙස බෙදා හැරීමට කටයුතු කරන බව විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව මෙහිදී යළිත් අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා එම කමිටුවේ සාමාජිකයින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.