Tuesday, December 30, 2025
Follow Us
වසර ගණනාවකට පසු සුරාබදු දෙපාර්තමේන්තුවද අපේක්ෂිත ආදායම්  ඉලක්ක අභිබවයි

නිලධාරීන්ගේ කැපවීම සහ දූෂණයෙන් තොර වැඩපිළිවෙළ ඊට ඉවහල් වුණා - සුරාබදු කොමසාරිස් ජනරාල්

රජයට හිමි ආදායම් එක්රැස් කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතුයි - ජනපති 

රජයට හිමි ආදායම් එක්රැස් කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතු බවත්, රට තුළ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ගොඩනැගීමේදී රාජ්‍ය අදායම් උපයා දෙන ප්‍රධාන ආයතනවලට විශාල වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ 2025 වසරේ ප්‍රගතිය සහ 2026 වසරේ අපේක්ෂිත ඉලක්ක පිළිබඳ සොයා බැලීමට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග හමුවකට අද (30) පස්වරුවේ එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී එක් වෙමිනි.

 2025 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 227.4 අභිබවා යමින් රුපියල්  බිලියන 231.3ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නියමිත අතර, එය ඉතිහාසයේ පළමු වතාවට 102% ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමකි. 

රටේ ආර්ථිකය රඳා පවතින්නේ රාජ්‍ය ආදායම් කොපමණ ප්‍රමාණයක් උපයා ගන්නවාද යන සාධකය මත බව සඳහන් කළ ජනාධිපතිවරයා, රාජ්‍ය ආදායම බිඳ වැටුණහොත් රටේ ආර්ථිකය බිඳ වැටෙන බවත්  2020-2021 වසරවල රාජ්‍ය ආදායම විශාල වශයෙන් බිඳ වැටීමේ ප්‍රතිවිපාකවලට රටට මුහුණ දීමට සිදු වූ බවත් සඳහන් කළේය. 

වාහන සහ ගොඩනැගිලි පහසුකම් පිළිබඳ ගැටලු ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර විශේෂයෙන් විධායක තනතුරුවල පවතින පුරප්පාඩු සහ පත් කිරීම්වලට අදාළව මතුව ඇති ගැටලුව පිළිබඳ අභ්‍යන්තර එකඟතාවකට පැමිණ කඩිනමින් විසදා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. 

එමෙන්ම සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම සහ 2025 වසරේදී සිදු කළ නීති වීරෝධි මත්ද්‍රව්‍ය වැටලීම් සහ එම කටයුතුවල ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි. 

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර යන මහත්වරුද,  සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා සහ එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.