Tuesday, November 04, 2025
Follow Us
රේගුව  අපේක්ෂිත ඉලක්කයට අනුව 117% ක් සපුරයි

2025 සැප්තැම්බර් 30 වන විට අපේක්ෂිත ඉලක්කයෙන් 117% සපුරාලීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගු නිලධාරීහු පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ. 2025 සැප්තැම්බර් 30 දිනට අපේක්ෂිත රේගු ආදායම රු. බිලියන 1485 ක් බවත් ඒ අනුව රු. බිලියන 1737ක ආදායමක් මේ වන විට ලැබී ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සෑම මසකම රේගු ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අයුරු ද ඔවුහු කාරක සභාවට පැහැදිළි කළහ. මේ අනුව වැඩිම ආදායමක් හිමිවී ඇති වාහන ආනයනය මගින් 2025 ඔක්තෝබර් 14 වන විට රු. බිලියන 587.11 ක් උපයා ඇති බවත් එම අගය ඒ වන විට සමස්ත ආදායමෙන් 37% ක ප්‍රතිශතයක් බවත් නිලධාරීහු සදහන් කළහ. ඒ අනුව ඔක්තෝබර් 14 වන විට මෝටර් කාර්රථ 55,447ක් ආනයනය කර ඇති අතර එමගින් රු. බිලියන 474.26ක රේගු බදු ආදායමක් හිමිව තිබේ. භාණ්ඩ ප්‍රවාහන රථ 7331ක් ආනයනය කර ඇති අතර ඉන් රු. බිලියන 48.67 ක ආදායමක් ලැබී ඇත. යතුරුපැදි 142,524 ක් හා ත්‍රීරෝද රථ 15,035ක් ආනයනය කර ඇති අතර ඉන් ලැබූ ආදායම් පිළිවෙලින් රු. බිලියන 30.37ක් හා 15.10ක් වේ. මගී ප්‍රවාහන බස් හා වෑන් රථ 1679ක් ආනයනය කර ඇති අතර එමගින් රු. බිලියන 12.66ක ආදායමක් ලැබී ඇති බවත් මෙහිදී ඔවුහු සඳහන් කළහ.