Tuesday, October 28, 2025
Follow Us
Gov Pay මගින් උතුරු පළාත තුළ ස්ථානීය රථවාහන දඩ ගෙවීම ආරම්භ කෙරේ

Gov Pay මගින් උතුරු පළාත තුළ ස්ථානීය රථවාහන දඩ ගෙවීම ආරම්භ කිරීමේ අවස්ථාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(28) කිළිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

මින් පෙර Gov Pay මගින් ස්ථානීය රථවාහන දඩ ගෙවීම දකුණු පළාත හා බස්නාහිර පළාත තුළ පමණක් සිදු වූ අතර මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වීම ආරම්භ වූ තුන්වෙනි පළාත වශයෙන් උතුරු පළාත හැදින්වීමට හැකිය. දැනට බස්නාහිර පළාත හා දකුණු පළාත තුළ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම තුලින් දඩගෙවීම් 23 539කදී මිලියන 31ක මුදලක් Gov Pay මගින් අය කර ගැනීම සිදු කර ඇත. එමෙන්ම Gov Payමගින් රථවාහන වැරදි සදහා ස්ථානීය දඩ ගෙවීමේ වැඩසටහන සදහා අවශ්‍ය පුහුණුව ලබා දීමේ පුහුණු වැඩසටහන් පසුගිය 26 හා 27 දෙදින පුරා උතුරු පළාතේ රථවාහන රාජකාරීවල නියුතු පොලිස් නිළධාරීන් වෙත සිදු කරන ලදී.

මෙහිදී Gov Payමගින් ස්ථානීය රථවාහන දඩ ගෙවීමේ වැඩසටහනට අවශ්‍ය ජංගම දුරකථන පොලිස් නිළධාරීන් වෙත සංකේතාත්මකව ලබා දීමද සිදු විය.

මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප‍්‍රකාශ කොට සිටියේ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වත්මන් රජයේ වැඩපිලිවෙළහි එක් ප‍්‍රධාන අංගයක් වශයෙන් Gov Pay වැඩසටහන හැදින්වීමට හැකි බවයි. මෙමගින් කාර්යක්ෂමව දඩ අයකර ගැනීමට හැකියාව ලැබෙන බවත් පොලිස් නිළධාරීන්ගේ කාර්යයන් වඩාත් පහසු කිරීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා ප‍්‍රකාශ කොට සිටින ලදී. දෙසැම්බර් මාසය වන විට මුලූ රටම ආවරණය වන පරිදි රථවාහන වැරදි සදහා Gov Pay මගින් ස්ථානීය දඩ අය කර ගැනීම සිදු කිරීමට සැළසුම් කොට ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාත් ශ‍්‍රී ලංකා පොලීසියේ ඉහළ නිළධාරීන් රැසක්ද රජයේ නිළධාරීන් රැසක්ද ශ‍්‍රී ලංකා පොලීසියේ උතුරු පළාතේ පොලිස් නිළධාරීන් රැසක්ද සහභාගී වූහ.