Thursday, October 23, 2025
Follow Us

අමාත්‍යාංශ  කිහිපයක 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සහ 2025.12.31 දක්වා අපේක්ෂිත ප්‍රගතිය සම්බන්ධව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

මේ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සහ 2025.12.31 දක්වා අපේක්ෂිත ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.   

මෙහිදී කාරක සභාව අමතමින් එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේ 2025 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන ඒ ඒ අමාත්‍යාංශ වියදම් කිරීම පිළිබඳ සහ එහි ප්‍රගතිය පිළිබඳ සියලු කරුණු කාරක සභාව විසින් විමසා බලා සකස් කරන ලද වාර්තාවක් පාරිලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. ඒ අනුව මෙසේ තම කාරක සභාවට අයත් සියලු අමාත්‍යාංශවල කරුණු විමසීම සිදු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

මේ අනුව ඒ ඒ අමාත්‍යාංශවලට අයවැයෙන් වෙන්වූ මුදල් සහ ඒවා වියදම් කිරීමේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අත්‍යාවශ්‍ය ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම සහ ඒවායේ ප්‍රගතිය සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තාවන් ලබා දෙන ලෙසද නිර්දේශ කරනු ලැබීය.

මෙම කාරක සභාව සඳහා විපක්ෂ න‍ායක ගරු සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, සුදත් බලගල්ල, චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, සුජීව සේනසිංහ, උපුල් කිත්සිරි සහ එම්.එස්. උදුමාලෙබ්බේ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.