ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ මධ්‍යම පළාත් වැඩසටහන සැප්තැම්බර් 14 වන ඉරිදා පෙ.ව 8.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත් වේ.
මෙහිදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි 2023 සහ 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් ප්‍රදානය කෙරෙන අතර මේ සඳහා ජනාධිපති අරමුදල වැය කරන මුදල රුපියල් මිලියන 36කි.
මේ අතර, මහනුවර මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරුදැරියන් වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක්ද සැප්තැම්බර් 14 වන දා ප.ව 1.30ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වේ.
එමෙන්ම, ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව මධ්‍යම පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් හෙට (13) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වේ.
මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරීන් දැනුවත් කිරීම එහිදී සිදු කෙරෙන අතර මධ්‍යම පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම සහ වඩාත් කඩිනම් සේවා සැපයීම පිණිස අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා දීම මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.