තරුණකටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.
මෙහිදී, 2025 වර්ෂයට අදාළව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 08ක් සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන සහ ඊට අදාළ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය වෙන් වෙන් වශයෙන් සමාලෝචනය කෙරිණි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල මෙතෙක් පැවති ගැටලුව වන්නේ එහි උන්නතිය වෙනුවෙන් නිසි පරිදි අයවැය ප්‍රතිපාදන වෙන් නොවීම බවත්, පසුගිය අයවැයේදී සෑම ක්ෂේත්‍රයක් සඳහාම අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතත්, ඒවා නිසි පරිදි අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීම පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිපාදන මෙම මූල්‍ය වර්ෂය තුළ නිසි පරිදි අවසන් කර ජනතාවට ප්‍රතිලාභ සැලසීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.
රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම, ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට ගෙන යාම අරමුණු කර ගනිමින් 2026 වසර සඳහා අයවැය යෝජනා සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළේය.
මෙහිදී රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය සැලැස්ම සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රීඩා සංගම්වල දායකත්වය හැකි උපරිමයෙන් ලබා ගන්නා ලෙසත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් උපදෙස් දුන්නේය. ඒ සඳහා කෙරෙන ප්‍රතිපාදන වෙන් කිරීම හුදු ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පමණක් නොව, රටේ සෞඛ්‍යය, සමාජ සුබසාධනය, අපරාධ අඩු කිරීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීම, සාමූහිකත්වය නිර්මාණය කිරීම මෙන්ම, ජව සම්පන්න ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම ආදී අරමුණු රැසක් එකවර ළඟා කර ගන්නා ආයෝජනයක් බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී.
එමෙන්ම, ක්‍රීඩාවේදී ජවය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, මේ යුගයේදී පුහුණුව සහ තාක්ෂණය එහි තීරණාත්මක සාධක බවත්, ක්‍රීඩකයන්ට ඊට අවශ්‍ය පහසුකම් ලබා දීම ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ වන විට ප්‍රතිපාදන වෙන් කර ඇති කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය මෙන්ම, කිලිනොච්චිය සහ මන්නාරම ඇතුළු දිවයින පුරා ඉදිකරමින් පවතින ක්‍රීඩාංගණවල ප්‍රතිසංස්කරණ සහ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයේදී විශේෂ ඉදිකිරීම් සඳහා විශේෂඥ ඥානය තිබෙන පිරිස් යොදා ගැනීමේත්, ඒ සඳහා රජය පාර්ශ්වයෙන් උපදේශන සමාගමක් ස්ථාපිත කිරීමේත්, ජාත්‍යන්තර මට්ටමේ උපදේශන සේවා ලබා ගැනීමේත් වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
පාසල් ක්‍රීඩාව සංවර්ධනය සඳහා අවධානය යොමු කරන ලෙසද නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.
ඉහත සියලු කරුණු සලකා බලා ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් නව සංයුක්ත සැලැස්මක් හැකි ඉක්මණින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
එමෙන්ම, පසුගියදා පැවති 2025 ජාතික තරුණ සමුළුවට සම්බන්ධ වූ තරුණ-තරුණියන්ගේද දායකත්වය සහිතව තරුණ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිත ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ , කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.