Friday, July 18, 2025
Follow Us
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා - නි. ඇමති චතුරංග අබේසිංහ

කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය පිහිටි "රයිගම්පුර හරිත කර්මාන්ත සංවර්ධන කලාපයේ" වත්මන් තත්ත්වය සොයා බැලීමට  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඊයේ (17) නිරීක්ෂණට චාරිකාවකට එක්විය.

මිල්ලනිය කර්මාන්ත පුරය පරිසර තිරසාර සහිත කර්මාන්ත පුරයක් ලෙස සංවර්ධනය කිරීමට පිඹුරුපත් සකස් කර ඇති අතර ව්‍යාපෘතියේ අනාගත කටයුතු පරිසර පද්ධතියේ ආරක්ෂාව, අඛණ්ඩතාවය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා වන අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම කර්මාන්තපුරයට කැබිනට් අනුමැතිය අක්කර 200ක් සඳහා ලැබී ඇතිමුත් පරිසර පද්ධතිය සඳහා වෙනම අක්කර 100ක් වෙන් කර තිබේ. ඒ අනුව  සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නේ අක්කර 87ක ප්‍රමාණයක් පමණි.

මෙහි පළමු අදියරේදී සංවර්ධන කටයුතු අක්කර 24ක භූමියක සිදුකිරීමට නියමිත අතර එහි ආයෝජනය රු මිලියන 3837ක්.  එමෙන්ම මෙමඟින් අපේක්ෂිත රැකියා ප්‍රමාණය 1226ක්.

මේ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 908ක ප්‍රමාණයක් වැය කර අවසන් අතර 2026 වන විට අවම වශයෙන් කර්මාන්ත 24ක් මෙම භූමියේ ස්ථාපිත වීමට නියමිතයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ලංකාවේ කර්මාන්ත සහ අගය එකතු කිරීමේ නිෂ්පාදන වැඩි කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා. කෙසේ වෙතත් කර්මාන්තරකණයට අවශ්‍ය ඉඩකඩම් නොමැතිවීම මේ සඳහා ඇති ලොකුම බාධාවයි. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කර්මාන්තකරුවන් 173 දෙනෙක් ඉඩම් ඉල්ලා අමාත්‍යාංශයට ඉල්ලුම් කර ඇති නමුත්, මේ වන විට බස්නාහිර පළාතේ කර්මාන්ත සඳහා ඉඩම් අවම තත්ත්වයක් පවතිනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස, රයිගම් කොට්ඨාසයේ මිල්ලනිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත පුරය වැනි කලින් අඩාල වී තිබූ ව්‍යාපෘති නැවත වේගවත් කිරීමට රජය උත්සාහ කරනවා. පරිසරයට හානියක් නොවන අයුරින් සහ ජනතාවගේ සැක සංකා දුරු කරමින් ප්‍රදේශවාසී ජනතාවයේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට බලාපොරොත්තුවනවා." යැයි පැවසීය.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා මහත්මිය, නන්දන පත්මකුමාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් හා ව්‍යාපෘතියට අදාළ නිලධාරීන් රැසක් එක්ව සිටියා.