වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් (කෝටි 650ක්) පමණ වන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ණය යෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.
ඒම අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො.25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිතිය.
අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවැතිය යුතු අතර මෙම ණය යෝජනා ක්‍රමය යටතේ, ඔවුන්ට 7%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් (කෝටි 05ක්) දක්වා ණය මුදලක් ලබාගත හැකිවේ. අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතුය.
මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, අමානා බැංකුව, කාගීල්ස් බැංකුව සහ පෑන් එෂියා බැංකුව තෝරාගෙන ඇත.
මෙහිදී ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිල දී ගැනීමට සැලසුම් කර ඇත. 2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ක්‍රියාත්මක මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ, පසුගිය 2024/25 මහ කන්නයේදී රුපියල් මිලියන 6,850ක පමණ ණය අරමුදල් වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත ලබාදී ඇත.