Thursday, June 12, 2025
Follow Us
මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104 % ක්

මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104 % ක ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවුනා - සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරීහු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පවසති.

  • දියුණු රටක් කරා යන ගමනේ සංධිස්ථානයකයි අප සිටින්නේ - ජනතාවගේ බදු මුදල් රුපියලක්වත් නාස්ති නොකර සංවර්ධනයට යොදවනවා - නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි. 
  • QR කේතයක් මගින් ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනාගැනීමේ නව වැඩපිළිවෙලෙහි ප්‍රගතියත් විමසයි - නව ක්‍රමය හදුන්වාදීමෙන් පසු කිසිදු ව්‍යාජ ස්ටිකරයක් හමු වී නැති බව නිලධාරිහු පවසති. 

මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන රු. බිලියන 242 න් 2025 මැයි 31 වන විට අපේක්ෂිත ප්‍රමාණයෙන් 104% ක් (බිලියන 98ක්)  උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඉදිරියේ  පසුගියදා (06) පැවසූහ.

2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන රු. බිලියන 242 න් රුපියල් බිලියන 240ක් මත්පැන්වලින් ද රුපියල් බිලියන 2ක් බීඩිවලින් ද ලබා ගැනීම‍ට අපේක්ෂා කරන බව  ඔවුහු වැඩිදුරටත් පැවසූහ. පසුගිය වසරේ මැයි 31 වන විට එම ආදායම රුපියල් බිලියන 88ක් බවත් ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10 ක ආදායම මේ වන විට වැඩිවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

නව රජය බලයට පත්වීමත් සමග නීති විරෝධි මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත් වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් වූ බවත් මේ වන විටත් අඛණ්ඩව එම වැටලීම් සිදුකරමින් පවතින බවත් නිලධාරීහු සඳහන් කළහ. 

මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන්  2025.06.06 දින පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය. සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ත මෙහෙයුම් පිළිබඳව සහ ආරක්ෂක විශේෂාංග කළමනාකරණ පද්ධතිය  ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම කාරක සභාව රැස්විණි.

මත්පැන් බෝතල් මත අලවා ඇති QR කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරයක් ජංගම දුරකථනයක ඇති මෘදුකාංගයක් හරහා (App) ස්කෑන් කිරීමෙන් ව්‍යාජ මත්පැන් බෝතල් හදුනා ගැනීම සඳහා මේ වන විට අලුතින් ආරම්භ කොට ඇති වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා විමසා සිටියේය. එම වැඩ පිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී නිලධාරිහු පැවසූහ. 2024 අග භාගයේදී හදුන්වා දුන් මෙම නව QR කේතය සහිත ස්ටිකර් ක්‍රමයෙන් පසු, මීට පෙර සිදු වූවාක් මෙන් කිසිදු ව්‍යාජ ස්ටිකර සහිත මත්පැන් බෝතල් වැටලීම් වලදී හමු වී නැති බවත් නිලධාරීහු සඳහන් කළහ. මේ වන විට නිලධාරීන්ට පමණක් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි සීමාවී ඇති QR කේතයක් මගින් මත්පැන් බෝතල් පරීක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙල ඉදිරියේදි සාමාන්‍ය ජනතාවටත් විවෘත කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  

එසේම මෙම නව ක්‍රමවේදය මගින් සුපිරි වෙළඳසැල්, හෝටල් ඇතුළු මත්පැන් අලෙවිසැල්වල අලෙවියට තබා ඇති මත්පැන් බෝතල් අතර ව්‍යාජ ඒවා තිබේද යන්න හදිසි වැටලීම් මගින් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා විසින් නිලධාරින්ට අවධාරණය කරන ලදී.

සුරාබදු පනතේ පවතින අඩුලුහුඩුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. ඒ අනුව ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට දැනුම් දෙන ලදී.

මත්පැන් මිල ඉහළයාම නිසා නීති වීරෝධි මත්පැන් පරිභෝජනය වැඩිවීම සිදුවන බැවින් ඊට විසදුමක් ලෙස ගුණාත්මක බවින් යුතු මත්පැන් සාධාරණ මිලකට නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

දියුණුව කරා යන ගමනේදී මේ වන විට  ශ්‍රී ලංකාව සංධිස්ථානයක පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා , බදු ගෙවීමේ ක්‍රියාවලිය සඳහා සෑම පුරවැසියෙක්ම සම්බන්ධ විය යුතු බවත් එසේ එක්රැස්කරන බදු රුපියලකුදු නාස්ති නොකර රටේ සංවර්ධනය සඳහා යොදවන  බවත් අවධාරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන  චතුරංග අබේසිංහ, එරංග වීරරත්න,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අසෝක සපුමල් රන්වල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා සහ  නීතිඥ හසාරා ලියනගේ යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.