සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා (04) ඒ මහතා මේ බව පවසා සිටියේය.
සමූපකාර බැංකු රැසක මූල්ය අක්රමිකතා ඇතුළු අවිධිමත් කටයුතු සිදුවන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බැවින් ඒවා නිවැරදි ලෙස නියාමනය කරමින් විධිමත් ක්රමවේදයක් සකස් කිරීම සඳහා නව නීති ගෙන ඒම අත්යවශ්ය බව අමාත්යවරයා අවධාරණය කළේය. මෙම තත්ත්වය නිසා මහජනතාවගේ පහසුව වෙනුවෙන් ඇති සමූපකාර බැංකු ක්රමයෙන් ජනතාවගෙන් ඈත්වෙමින් පවතින බවත් යම් සීමිත කණ්ඩායමක් පමණක් ඉන් ප්රතිලාභ ලබා ගන්නා බවත් අමාත්යවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට හිඟයකින් තොරව ලුණු ජනතාවට ලබාගත හැකිවුව ද වෙළඳපොලෙහි ලුණු මිලෙහි වැඩිවීමක් පිළිබඳව පැමිණිලි ලැබෙන බැවින් වැඩි ලාභ අපේක්ෂාවෙන් ලුණු මිල අසාධාරණ ලෙස ඉහළ නංවන්නේ නම් ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කරන බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාතයාංශයට අදාළ වන විවිධ ගැටලු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමුකළ අතර එම ගැටලු සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට අවශ්ය උපදෙස් ලබා දුන්නේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යාංශය යටතේ ඇති ආයතනවල කාර්යභාරය පිළිබඳව ද නිලධාරීන් විසින් මෙහිදී මන්ත්රීවරු දැනුවත් කිරීම සිදුවිය.
වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා ගරු නියෝජ්ය අමාත්ය ආර්.එම්. ජයවර්ධන මහතා ඇතුළු ගරු මන්ත්රීවරයන් පිරිසක්ද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.