Saturday, May 31, 2025
Follow Us
පලතුරුවලට නව මධ්‍යස්ථානයක් වීවෘත වෙයි

ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ තාක්ෂණික මැදිහත්වීමෙන් RD පලතුරු නිෂ්පාදන සමාගමෙහි පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය අද (30) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ, බොරගොඩවත්ත පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී පසු අස්වනු කළමනාකරණ ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත මහතා මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“අස්වැන්නට අගයක්- ගමට ව්‍යවසායකයෙක් තේමාව යටතේ පසු අස්වනු තාක්ෂණය සමඟ පෙරට යන කෘෂි ව්‍යවසායකයින් දහසක් නිර්මාණය කිරීමේ අභිලාශය පෙරදැරිව අප මෙම වැඩසටහන ආරම්භ කළා. රජයේ ප්‍රතිපත්තිය අනුව ලස්සන ජීවිතයක් පොහොසත් රටක් ඇති කිරීම සඳහා අපි කැපවෙනවා. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇති කිරීමේ එක් පියවරක් ලෙස අපි අද ඒ කාර්යයට මුල පුරා තිබෙනවා. ඒ වගේම මෙම කටයුත්ත දිවයින පුරා ගෙනයෑම අපේ අපේක්ෂාවයි. මේ සඳහා පසු අස්වනු කළමනාකරණ ආයතනයේ නිලධාරීන් විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ පිළිබඳව ඔවුන්ට විශේෂ ස්තූතියක් හිමි විය යුතුයි.”

“RD පලතුරු නිෂ්පාදන මේ වනවිට පලතුරු නිෂ්පාදනය කරනවා. ඒ වගේම විදේශ රටවලට පලතුරු අපනයනය කරනවා. මෙම ව්‍යවසායකයා නිසා මේ ප්‍රදේශයේ ජනතාවට නව රැකියා අවස්ථා උදා වෙනවා. ඒත් එක්කම ගමේ ආර්ථිකය සවිබල ගන්වන්න මෙවැනි ව්‍යාපාර හරහා හැකියාව ලැබෙනවා.”

“පසු අස්වනු කළමනාකරණ ආයතනයේ කාර්යයභාරය හේතුවෙන් 30% - 40% අතර තිබුණු පසු අස්වනු හානිය 20%ක් දක්වා අවම මට්ටමකට ගෙන එන්න හැකියාව ලැබුණා. ඒ කියන්නේ රටට වසරක් තුළ රුපියල් මිලියන 32,000ක් ඉතුරු කරලා දීලා තියෙනවා. එය අප ලද සුවිශේෂී ජයග්‍රහණයක්.”