Saturday, April 27, 2024
Follow Us
පොල් කිරි අපනයනයෙන් පෙබරවාරි මාසය තුළ  රු. මි. 2971ක ආදායමක්

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලදැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පොල් කිරි අපනයනය ගත් කළ 2023 වර්ෂයේ දී පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 4366ක් අපනයනය කර රුපියල්  මිලියන 2401ක ආදායමක් උපයා තිබේ.

 මහ බැංකුවේ මාසික පදනම යටතේ නිකුත් කරන අපනයන පිළිබඳ වාර්තාව අනුව 2024 වර්ෂයේ  පෙබරවාරි මාසය තුළ පොල් කිරි මෙට්‍රික් ටොන් 6739ක් අපනයනය කිරීම මගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 2971කි.

අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය අනුව 2023ට වඩා 2024 පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 2373ක් ඉහළ  ගොස් ඇති අතර අපනයනය මගින් ලද ආදායම ද රුපියල් මිලියන 570කින් වර්ධනය වී තිබේ.

පසුගිය වර්ෂයේ දීර්ඝ නියඟය සහිත කාලගුණික තත්ත්වයකින් පසු ලද වැස්ස හේතුවෙන් පොල් ඵලදාව ද ඉහළ ගියේය. එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා මාසිකව පොල් නිෂ්පාදනයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරයි.

2023 නොවැම්බර් මාසයේ සියයට 22ක්, දෙසැම්බර් සියයට 05ක්, 2024ජනවාරි මාසයේ සියයට 18ක් සහ  පෙබරවාරි මාසයේ සියයට 25කින් මෙරට පොල් නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ.

2023 වර්ෂයේ සමස්ත පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000 ඉක්මවා ගොස් ඇති අතර කර්මාන්ත සදහා වෙන් කළ පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 1380කි.

කෙසේ වුවද පොල් අපනයනය මගින් ලද ආදායම මෙම වර්ෂය තුළ ඩොලර් බිලියනයක් දක්වා ප්‍රථමවරට ඉහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.