එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්රී ලංකාවක් ගොඩනගමු තේමා කරගත් ‘අත්තම’ ජාතික පවිත්රතා දින වැඩසටහන අද (08) පෙ.ව. 8.00ට දිවයින පුරා පැවැත්වීමට නියමිතයි.
‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය, ප්රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ශ්රී ලංකා යුද හමුදාව එක්ව සංවිධාන කරනු ලබන මෙම වැඩසටහන දිවයින පුරා පිහිටි සියලුම ග්රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි නිල වශයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
පරිසර ප්රජා සහජීවනය සහ පවිත්ර දේශයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් මෙම ජාතික පුරවැසි මෙහෙවර ක්රියාත්මකයි.
ප්රජා ශක්ති කමිටුවල සක්රිය මැදිහත්වීම සහිතව, ප්රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ දිස්ත්රික්ක විසිපහම ආවරණය වන පරිදි ප්රධාන වැඩසටහන් හා ප්රාදේශීය වැඩසටහන් ක්රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙනවා.
ප්රජාව අතර සහයෝගීතාව සහ සාම්ප්රදායික ශ්රම හුවමාරු සංකල්පය නැවතත් තරුණ පරපුර තුළ ප්රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණක්.
එමෙන්ම පොදු දේපළ කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කරමින් ඌන උපයෝජිත පොදු පහසුකම් සංවර්ධනය කිරීමත්, මහා මාර්ග හා වෙළඳපොළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදුව තබා ගනිමින් දැකුම්කලු පරිසරයක් නිර්මාණය කිරීමත් මෙයින් අපේක්ෂා කෙරෙනවා.