Friday, August 07, 2026
Follow Us
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි
අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් ඊයේ (06) දින පාර්ලිමේන්තු පරිශ්රයේදී රැස්වුණි.

 

මෙහිදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල පවතින ගුරු හිඟය සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අග්රාමාත්යවරියගේ අවධානය යොමු වූ අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් අග්රාමාත්යවරිය පවසා සිටියේ, මෙම වසර අවසන් වන විට සිදුකෙරෙන ගුරු බඳවාගැනීම් ඔස්සේ එම පළාත්වල පවතින ගුරු හිඟය පියවීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි. එසේම ඉදිරියේදී එම පළාත් තුළ ගුරු හිඟයක් ඇති නොවන බවට සහතික වීම සඳහා තිරසාර සැලැස්මකට අනුව කටයුතු සිදුකළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය.
තවද, එම පළාත් තුළ සිදුවෙමින් පවතින පාසල් ගොඩනැගිලි හා යටිතල පහසුකම් සංවර්ධන ව්යාපෘති කඩිනමින් සිදුකර අවසන් කිරීම සඳහා අවශ්ය උපදෙස්ද මෙහිදී අග්රාමාත්යවරිය විසින් ලබාදෙන ලදී.
 
එසේම මෙම උපදේශක සභාවේ මෙහෙයවීම යටතේ පත් කර ඇති මානව සම්පත් කළමනාකරණය සහ උසස් අධ්යාපන අංශය වැනි ක්ෂේත්රවලට අදාළ අනුකාරක සභාවල වත්මන් ප්රගතිය කෙරෙහිද මෙහිදී අග්රාමාත්යවරිය අවධානය යොමුකළාය. තවද ශ්රී ලංකා තුළ අධ්යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටු සාමාජිකයින්ගේ කාර්යභාරය ඇගයීමට ලක් කරමින් සහතික පත් ප්රදානය සිදු කිරීම මෙහිදී සිදු විය.
 
මෙම අවස්ථාව සඳහා අධ්යාපන සහ උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලීන් හේවගේ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරු ද අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීහු ද සහභාගී වූහ.