Friday, May 03, 2024
Follow Us
ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වූ වහා නවතා ඇති සංවර්ධන ව්‍යාපෘති අරඹනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ වහාම නවතා ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති යළි අරඹන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ 2024 වර්ෂයේදී මාර්ග කි.මී. 1,500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන කොස්ගම - දාතුරුගොඩ පාර, තවල්ගොඩ දක්වා මාර්ගයේ සහ ඇස්වත්ත උතුර-  හද්දුව ජනපද මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" නිදහසින් පසු අප රටේ කුමන ජනාධිපතිවරයෙකු බලයට පත්වුවත්, කවර රජයක් ආණ්ඩු කලත් සියලුම යටිතල පහසුකම් සඳහා වන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීම තුළින්. මහවැලිය උතුරට හැරවීම,ගිං ගඟ, ඉඟිණිමිටිය, මොරගහකන්ද වැනි බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රම, විදුලිබලය,මං මාවත්,දුම්රිය, බස් රථ, ගුවන් යානා, යුද උපකරණ ආදී මේ සියල්ලක් ලබාගෙන ඇත්තේ ණය මඟින්. ණය නොගත් කිසිදු ආණ්ඩුවක් ශ්‍රී ලංකාව තුළ තිබී නැහැ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදියෙන් සහනදායී පොලියට ණය ලබා ගත්තත් ඒ ණය ද ප්‍රමාණවත් නොවූ නිසා ගිනි පොලියට ජාත්‍යන්තර වෙළඳපොලෙන් ස්වෛරීත්ව  බැඳුම්කර නිකුත් කර ණය ලබාගෙන තිබෙනවා. එලෙස ලබාගත් ණය වාරික සහ පොලිය ගෙවීම රටට ඔරොත්තු නොදෙන තත්ත්වයකට පත්වුණා. ණය තිරසාර භාවයක් නැති වන විට ජාත්‍යන්තර ණය හිමියන්ට මඟ පෙන්වන පිච් රේටින්, මෝඩි වැනි ආයතන ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් වල පහළට ඇද දැමුවා. එවිට ශ්‍රී ලංකාවේ බැංකුවල ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිගන්නේ නැහැ.

ඒ හේතුවෙන් රටට අවශ්‍ය ඉන්ධන,ගෑස්, ඖෂධ ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට නොහැකි වුණා. මේ ආර්ථික ව්‍යසනය තුළ අරගලකරුවන් සහ අන්තවාදීන් රට ගිනි තබා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කර, පාර්ලිමේන්තුව ගිනිබත් කර, ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට කටයුතු කලා.

ඒ තත්ත්වය මත කිසිවෙකුත් රට භාර ගැනීමට ඉදිරිපත් නොවන අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන පාර්ලිමේන්තුවේ ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වුණා. 

අද මෙලෙස ආරම්භ කෙරෙන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේද 2024 අයවැය මගින් අපගේ අමාත්‍යංශයට වෙන්කළ මුදලින්.එලෙස වෙන්කරන්නේ ද දේශීයව ලබාගත් ණය මුදල්. දේශපාලනඥයින්ගේ නොදැනුවත්කම නිසා හෝ කපටිකම නිසා හෝ ගමින් ගමට ගොස් බොරු ප්‍රලාප දෙඩවිය හැකියි. ආණ්ඩුවක් ලෙස ඕනෑම වියදමක් දරනවා නම් ඒ සඳහා මුදල් සපයා ගන්නේ බදු පනවා හෝ ණය ලබාගෙන හෝ රජය සතු දේපළ විකිණීමෙන් පමණයි. මේ ඇත්ත අපහසුකම් සහ ප්‍රශ්නයේ බරපතලකම රටේ ජනතාවට වටහා දිය යුතුයි”.

ගෞරවණීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවති මෙම සමාරම්භක අවස්ථාවන්ට මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ රුවන් දර්ශන මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රදේශයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.