“එක මිටට - ගොවි බිමට” කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන “වී වගා ක්ෂේත්‍ර දිනය” බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේදී ඊයේ (17) කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර අද (18) දින පුරා ද පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ වී වගාවේ ඒකක බිම් ප්‍රමාණයක අස්වැන්න වැඩි කිරීමත්, වී වගාව සඳහා නව තාක්ෂණ උපකරණ යොදා ගැනීම සඳහා ගොවිජනතාව දැනුම්වත් කිරීම මෙහි අරමුණයි.
මෙහිදී අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා බතලගොඩ වී පර්යේෂණ ආයතනය ඇතුළු පර්යේෂණ ආයතන සක්‍රීය කරගත යුතු බව ප්‍රකාශ කළේය. අඩු භූමියකින් වැඩි ඵලදාවක් ලබා ගත හැකි ක්‍රමවේද භාවිත කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
වී වගාවේ මහගෙදර වන බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මඟින් නිපදවන ලද වී ප්‍රභේද, ජනනය කරන ලද නව වගා තාක්ෂණයන් ගොවි ජනතාවට ඉදිරිපත් කිරීම “විදු නැණෙන් සරු කෙතක්” ක්ෂේත්‍ර දිනයේ ප්‍රධාන අරමුණ වේ.
මෙහිදී ධාන්‍ය ගුණාත්මක අංශය මඟින් විවිධ වී ප්‍රභේද (පාරම්පරික හා වැඩි දියුණු කළ) වල ගුණාංග, සහල් ආශ්රිත අගය එකතු කළ ආහාර (බිස්කට්,යෝගට්,කේක් වර්ග,කැඳ,ආප්ප,පිට්ටු) නිෂ්පාදනයන් හා රස බැලීමේ අවස්ථාවන්, වී ප්රභේදවල ප්‍රතිඔක්සිකාරක ගුණ හා ග්ලයිසිමින් දර්ශක පිළිබඳ අධ්‍යයනයක් දැක ගත හැකිය. වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු යහපත් ක්‍රියා පිළිවෙත්, බිම් සැකසීමේ සිට අස්වනු නෙළීම දක්වා විවිධ අවස්ථාවලදී නිවැරදි තාක්ෂණයන් යොදා ගැනීම පිළිබඳ දැනුම ලබා ගත හැකි වේ.