මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System - CHIS) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට නියමිතය.
මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වන අතර, රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.
මෙම සෞඛ්‍ය පද්ධතිය තුළින් සම්පත් වඩා හොඳින් භාවිත කිරීමටත්, වඩාත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් එමෙන්ම දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත.
මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය මඟින් ඉහළම විශේෂඥ සත්කාර සපයන රෝහලක් වටා අසල ඇති රෝහල් සහ සායන "පොකුරු" ලෙස කාණ්ඩගත කරන අතර, එමගින් රෝහල් සහ සායනවල සිටින බලයලත් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට රෝගියාගේ සෞඛ්‍ය වාර්තා, X-ray ඡායාරූප, රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල, බෙහෙත් වට්ටෝරු සහ ප්‍රතිකාර මෙන්ම රෝග ඉතිහාසය පිළිබඳව දත්ත අධ්‍යයනයට ඉඩ සලසනු ලැබේ.
එමගින් රෝගියාගේ සෞඛ්‍යය පිළිබඳ නිසි දත්ත සහ කරුණු ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයනය කළ හැකි බැවින් නිවැරදි ප්‍රතිකාර ලබා දීම ද පහසු කරයි. තව ද කුඩා සායනයකට රසායනාගාරයක් නොමැති නම්, එකම පොකුර තුළ ඇති රෝහලකට පරීක්ෂණ සාම්පල යැවිය හැකි වන අතර, මෙය නැවත නැවත පරීක්ෂණ අඩු කිරීමට ද බෙහෙවින් උපකාරී වෙමින් රෝගීන්ට අවශ්‍ය සත්කාර ලබා ගැනීම වඩාත් පහසු කරනු ලබයි.
රෝගීන්ට බොහෝ විට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විවිධ රෝහල් සහ සායන වෙත යාමට සිදු වන අතර, නැවත පරීක්ෂණ කිරීමට, වෛද්‍ය වාර්තා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන ඒමට හෝ ප්‍රතිඵල සඳහා දිගු කාලයක් බලා සිටීමට ද සිදුවන අවස්ථා ඇත. එම අපහසුතා මඟහැර කාලය ඉතිරි කරමින්, පිරිවැය අවම කරමින්, වඩා හොඳ සත්කාර ප්‍රතිකාර ලබාදෙමින් මෙම නව සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමග කාර්යක්ෂම සහ රෝගීන්ට හිතකර සෞඛ්‍ය සේවා පද්ධතියක් නිර්මාණය කිරීමට ද මෙය උපකාරී වනු ඇත. තව ද අනවශ්‍ය ප්‍රමාදයන් හෝ වියදම් නොමැතිව, නියම වේලාවට, නියම ස්ථානයේ, ජනතාවට නිවැරදි සත්කාර ලැබෙන බව එමඟින් තහවුරු කිරිම ද මේ තුළින් ඉටුවන සේවාවකි.
මෙම පද්ධතිය සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය Health System Enhancement Project (HSEP) යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ Asian Development Bank (ADB) සහාය ඇතිව සංවර්ධනය කර ඇත. මෙම නවීන සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ගොඩනැගීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් මෙන්ම තාක්ෂණික සහාය ද ලබාදී ඇත.
මෙම පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය පරීකෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකව පවතී.
පද්ධතිය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා තඹුත්තේගම රෝහල නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිතය.