කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකෙරෙමින් පවතින මහල් 12කින් සමන්විත නවීන හෘද රෝග හා දැඩි සත්කාර සංකීර්ණය වන ‘Little Hearts’ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම ගොඩනැගිල්ලේ වත්මන් ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා එහි ගිය අමාත්‍යවරයා, ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ අතර, ඉතිරි වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සහ ඉංජිනේරුවන් සමඟ සාකච්ඡා කළේය.
මෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ඉංජිනේරුවන් සහ අදාළ නිලධාරීහු එහිදී අමාත්‍යවරයා දැනුවත් කළහ.
මෙරට සහජ හෘද රෝග (CHD) සහිත දරුවන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින්, ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන්ගේ සහ ශ්‍රී ලංකා ළමා රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (SLCP) මැදිහත්වීමෙන් ආරම්භ කළ මෙම ජාතික ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම, ගොඩනැගිල්ලේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව එහි සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩලය ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ ශ්‍රම දායකත්වයෙන්, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) නිරීක්ෂණයෙන් සහ රාජ්‍ය මූල්‍ය දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඊට අමතරව, ‘Little Hearts’ ව්‍යාපෘතිය හරහා රැස් කරගත් රුපියල් මිලියන 2,200ක පමණ පරිත්‍යාග මුදල් ද ව්‍යාපෘතිය සඳහා දායක වී තිබේ.
2016 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා 2017 වසරේදී රුපියල් මිලියන 2,400ක මූල්‍ය පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ මුල්ගල් තබා තිබිණි. කෙසේ වෙතත්, පසුකාලීනව ඇති වූ ආර්ථික අභියෝග හමුවේ ඉදිකිරීම් කටයුතු අඩාල වූ අතර, පසුව රුපියල් මිලියන 4,700ක නව මූල්‍ය ඇස්තමේන්තුවක් යටතේ එහි ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාවට ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා, රෝහල් අධ්යක්ෂ මණ්ඩලය, විශේෂඥ වෛද්‍යවරුන් සහ ඉදිකිරීම් කටයුතු භාර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.