Wednesday, October 07, 2026
Follow Us
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අනුමැතිය
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නිල සන්නිවේදන පහසුකම් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.
 
ඒ අනුව රාජ්‍ය නිල තොරතුරු ද්වාරය (gov.lk) යටතේ අධිකරණ 350ක් සඳහා courts.gov.lk නිල නාමය සහිතව විද්‍යුත් තැපැල් පහසුකම සහිත නිල විද්‍යුත් තැපැල් ගිණුම් 1,050ක් මූලික අවස්ථාවේදී ලබා දීමත්, විද්‍යුත් තැපැල් පද්ධතියටම ඇතුළත් කථනය ලේඛනය බවට හැරවීමේ (Voice-to-Text) සහ වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් සහිතව දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් භාවිත කරනු ලබන විද්‍යුත් තැපැල් පද්ධතිය මඟින් යෝජිත නිල විද්‍යුත් තැපැල් ගිණුම් 1,050ක් සඳහා සත්කාරක පහසුකම් ලබා දීමත් මෙමඟින් සිදු වේ.

ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් 'e‑court' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-12-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම ව්‍යාපෘතියේ මූලික පියවර වශයෙන් නඩු ගොනු කළමනාකරණය සඳහා මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ සහ මහාධිකරණ වෙත අවශ්‍ය ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කරමින් පවතී.

ඒ සඳහා මූලික අවශ්‍යතාවක් වන නිල විද්‍යුත් තැපැල් පහසුකම අධිකරණ පද්ධතියේ සියලුම මට්ටම්වල නිලධාරින් වෙත ලබා දිය යුතුව තිබේ. එමෙන්ම, දැනට අධිකරණවල පවතින ලඝුලේඛක හිඟයට පිළියමක් වශයෙන් වාචික ප්‍රකාශ ඒ මොහොතේදීම ලේඛන බවට හැරවීම සඳහා (Voice-to-Text) තාක්ෂණික පහසුකම් සලසා දීමේ අවශ්‍යතාව ද හඳුනා ගනු ලැබ ඇත.

එසේම, 2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතේ සහ 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන යටතේ මාර්ගගත ක්‍රමයට නඩු විභාග කිරීම පිණිස සියලුම අධිකරණ සඳහා වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම ලබා දිය යුතුව තිබේ.