දශකයකට පසු ධීවර ක්ෂේත්රය නවීකරණයට සහ ඩිජීටල්කරණයට යොමු කෙරේ
වසර දහයකට අධික කාලයකට පසු මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඉලක්ක කරගත් "ජාතික ධීවර යාත්රා සංගණනය - 2025", ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතාගේ සහ නියෝජ්ය අමාත්ය රත්න ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් අද (04) දින පානදුර ධීවර වරායේදී නිල වශයෙන් ආරම්භ විය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය සහ "ක්ලීන් ශ්රී ලංකා" වැඩසටහන එක්ව සංවිධානය කරන මෙම දීපව්යාප්ත සංගණනය අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වේ.
ධීවර යාත්රාවල සංගණන ස්ටිකර් ඇලවීම සහ ටැබ් පරිගණක මඟින් දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීමද මෙහිදි සිදු කෙරිණ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය, රාමලිංගම් චන්ද්රසේකර් මහතා,මෙසේ පැවසීය:
"පසුගිය වසර 10ක් පුරා මෙවැනි සංගණනයක් සිදු කර නොමැති වීම නිසා, රටේ සැබෑ ධීවර යාත්රා සංඛ්යාව, ඒවායේ තත්ත්වය, සහ ධාරිතාව පිළිබඳ නිශ්චිත දත්ත අප සතුව තිබුණේ නැහැ. මෙම තත්ත්වය, ධීවර කර්මාන්තය නවීකරණය කිරීමටත්, ධීවර ප්රජාවට අවශ්ය සහන සැලසීමටත් විශාල බාධාවක් වුණා. අද අපි මේ ආරම්භ කරන්නේ, සම්පූර්ණයෙන්ම තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ඩිජිටල් සංගණනයක්. මෙහි අරමුණ, අපේ රටේ ධීවර කර්මාන්තය පාරම්පරිකව මාළු අල්ලන පිරිසක් සිටින තැනින් ඔබ්බට ගෙන ගොස්, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ, ජාතික ආර්ථිකයට ඩොලර් උපයන, ගුණාත්මක ප්රෝටීන් අවශ්යතාව සපුරන නවීන කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීමයි. මෙම සංගණනය හරහා කැඩී ගිය හා භාවිතයෙන් ඉවත් කළ යාත්රා හඳුනාගෙන ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමෙන්, 'ක්ලීන් ශ්රී ලංකා' වැඩසටහන යටතේ අපේ මුහුදු සම්පත ආරක්ෂා කිරීමටත් පියවර ගන්නවා. මෙම ජාතික වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන මෙන් මම සියලුම ධීවර ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා."