Friday, July 04, 2025
Follow Us
පොලිස්  මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ වැඩ භාර ගනී

සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් උදය කුමාර වුට්ලර් මහතා අද (03) පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස රාජකාරි ආරම්භ කෙරෙණි.

1968 වර්ෂයේ පෙබරවාරි මස 28 වන දින උපත ලබා ඇති ඒ මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස 1990 මැයි මස 24 වන දින පොලිස් සේවයට බැදී කළුතර පොලිස් විද්‍යාලයෙන් මූලික පුහුණුව ලබා ඇත. එංගලන්තයේ බකින්ග්හැම්ෂයර් (BUCKINGHAMSHIRE)  විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී ගෞරව උපාධිය ලබා ගෙන ඇති ඒ මහතා 2015 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇති අතර මානව සම්පත් කලමණාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකි.

ඉංග්‍රීසි භාෂාව හා දෙමළ භාෂාව හැසිරවීමේ මනා නිපුණතාවයකින් යුතු  ඒ මහතා මේ දක්වා වසර 35 ක පොලිස් සේවා කාලය තුළ නැගෙනහිර ටිමෝරයේ සහ දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ වසර 05ක කාලයක් උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත. එමෙන්ම එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ   Professional – 3 (P-3)  වර්ගීකරණය යටතේ වෘත්තීය සාමාජිකයෙකු ලෙස ලැයිස්තු (Short List) ගත වී ඇත.  තවද ජාත්‍යන්තර පොලිස් සංගමය (IPA) සහ UNHCR ජ්‍යාතන්තර සංවිධානය මගින් ලබා දෙන ලද ශිෂ්‍යත්ව මගින් ඔහු ඉතාලියේ සහ ජර්මනියේ පොලිස් විද්‍යාල ආශ්‍රිතව විදෙස් පුහුණු පාඨමාලාවන් රැසක් හදාරා ඇත.

මෙරට පැවති යුධ කාලසීමාවේදී යාපනය හා මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙසද වැල්ලවත්ත, කටුනායක, දොම්පේ හා එරාවුර් යන පොලිස් ස්ථානවල ස්ථානාධිපති ලෙසද විශිෂ්ඨ කාර්යය භාරයක් ඉටු කර ඇත. 2010 සහ 2015 කාල සීමාවේදී දොම්පේ පොලිසිය සහ යාපනය පොලිසිය ජනතාවගේ විරෝධයට ලක්වී අර්බුධකාරී වාතාවරණයක් ගොඩ නැගී තිබූ අවස්ථාවල ඊට ඉතා හොඳින් මුහුණ දී මහජනතාව අතර ප්‍රසාදය දිනා ගැනීමට ඒ මහතා සමත් වී ඇති අතර නීතිය හා ප්‍රායෝගික පොලිස් විධි සම්බන්ධ වෘත්තීය දැනුම  මෙන්ම අත්දැකීම් බහුල  නිලධාරියෙකි.