Wednesday, May 28, 2025
Follow Us
ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණයට සමාගමක්

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, පුළුල් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සීමිත වගකීම් සමාගමක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

ගොවිපොළ හෝ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම, මිල දී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සැපයීම පිණිස විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18ක් මේ වන විට ස්ථාපිත කර ඇත.

ඒ අතුරින් වවුනියාව, කිලිනොච්චිය, යාපනය සහ මඩකලපුව හැර අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන 14 දැනට ක්‍රියාත්මකව පවතී. එම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය 2006‑01‑10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපතිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන සහ වෙළෙඳ සංගම්වල නිල බලයෙන් පත්‍ වන සාමාජිකයින්ගෙන් සමන්විත කළමනාකරණ භාරයක් මඟින් සිදු කරනු ලබයි. 

මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරික ක්‍රියාකාරකම් සාර්ථක ව සහ තිරසර ව සිදු කිරීම සඳහා මධ්‍යගත, නෛතික ව පිළිගත හැකි සහ වගවීම සහිත ආයතනික සැකැස්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන මෙම සමාගම ස්ථාපිත කිරීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.