Thursday, February 12, 2026
Follow Us
 ඩිපෝ වලින් ලංගම බස්වලට තෙල් නෑ

පෞද්ගලික බස්වලට හා ජාවාරම්කරුවන්ට ඇතිවෙන්න ඩීසල්


ලංගම ඩිපෝ මගින් බස් රථවලට ඉන්ධන නිකුත් කිරීමේදී ලංගම බස් රථ අමතක කර පෞද්ගලික බස් රථවලට හා ජාවාරම්කරුවන්ට අධික ලෙස ඩීසල් ලබාදීම නිසා සමහර අවස්ථාවල ලංගම බස් රථවලට ඩීසල් නොමැති වන බව ශ්‍රී ලංගම පොදු සේවක සමිතිය ප්‍රකාශ කර තිබේ.

එම සංගමයේ සභාපති සාගර ධනංජය ප්‍රකාශ කර සිටියේ ලංගම සතු ඉන්ධන පිරවුම්හල්වලින් ජාවාරම් ක්‍රියා සිදුවීම පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඊයේ (27) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි.

දහවල් කාලයේදී පෞද්ගලික බස් රථවලට සීමාවක් නොමැතිව ඉන්ධන ලබාදෙන නිසා සවස් කාලයේදී ඩිපෝ වලට පැමිණෙන සමහර ලංගම බස් රථවලට ඩීසල් නොමැති වන බවත් මේ නිසා ලංගමය සතු බස් රථවලට අවශ්‍ය ඩීසල් තොග තබාගෙන පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිකුත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එසේ නොමැති වුවහොත් ලංගම බස්රථවලට ඉන්ධන නොමැති වීම මත ඒවා ඩිපෝවල නවතා තැබීමට පවා සිදුවිය හැකි වන අතර මේ වනවිටත් ලංගමය සතුව ප්‍රමාණවත් බස් රථ නොමැති වීම නිසා පාසල් සිසුන් හා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වී ඇත.

ලංගමය විසින් ප්‍රමාණවත් තරම් බස්රථ ධාවනය නොකිරීම නිසා වාර ප්‍රවේශපත්‍ර ලබා ගන්නා සිසුන්ටත් යම් යම් අවස්ථාවල පෞද්ගලික බස්රථවලට මුදල් ගෙවා පාසල් යාමට හා නැවත නිවෙස් වෙත පැමිණීමට සිදුව තිබෙන බවද ඔහු පවසා සිටියේය.

Aruna