Thursday, February 12, 2026
Follow Us
ලබන සතියේ පාසැල් පැවැත්වීම ගැන යලි සලකා බලන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය

පවතින ඉන්ධන ගැටලුව හමුවේ ලබන සතියේ, නාගරික ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් යලි සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන නිකුක් කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නිකුත් කළ ට්විටර් පණිවිඩය හේතුවෙන්.

අමාත්‍යවරයා සදහන් කළේ දිවයිනට ඉන්ධන ලැබෙන දිනය පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බැවින් පවතින සීමිත ඉන්ධන තොග අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිකුත් කරන බවයි. ඒ අනුව මීලඟ ඉන්ධන තොගය දිවයිනට ලැබෙන තෙක් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ පොදු ප්‍රවාහනය, විදුල උත්පාදන කටයුතු සහ කර්මාන්ත කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින්. මේ හේතුවෙන් ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල රැදී නොසිටින ලෙසට ද අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කර තිබුණේ ලබන සඳුදා සිට සිකුරාදා දින දක්වා පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ දිනයේ තීරණය කර තිබූ පසුබිමක් තුලයි.

ඒ අනුව ඉකුත් සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රදේශවල පාසල් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පෙරවරු 07 යි 30 සිට පස්වරු 01 යි 30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබුණා. එම පාසල්වල ද, ප්‍රාථමික අංශ පවත්වන දින ගණන තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පැවරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ ලබන අගහරුවාදා සිට, ඉකුත් සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රදේශවල පාසල් පැවැත්විය හැකිද යන්න පිළිබඳ හෙට දිනයේ සාකච්ඡා කර තීරණයක් ගැනීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන්නේ.

නාගරික ප්‍රදේශවල පාසල් ලබන සතියේ සිට දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළද එය ප්‍රායෝගික නොවන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.

Neth