Thursday, February 12, 2026
Follow Us
කාබනික පොහොර කියා පාට කළ පස් වර්ගයක් බෙදලා

අදාළ සමාගම වරද පිළිගෙන අලුතින් පොහොර දෙන්න පොරොන්දු වෙයි


කඹුරුපිටිය ගොවි ජන සේවා මධ්‍යස්ථානය හරහා පෞද්ගලික සමාගමක් මඟින් තමන්ට සපයන ලද කාබනික පොහොර ප්‍රමිතියෙන් බාල වර්ණ ගන්වන ලද පස් වර්ගයක් බවට ගොවීහු චෝදනා කරති.

සීවල්ගම, ගතාර, නාරන්දෙනිය බටහිර, නාරන්දෙනිය නැගෙනහිර, කඹුරුපිටිය, ඌරපොළ බටහිර, ඌරපොළ නැගෙනහිර සහ පලොල්පිටිය යන ග්‍රාම සේවා වසම් වල ගොවීන් සඳහා මෙම තත්ත්වයෙන් බාල කාබනික පොහොර ලබාදී තිබුණි.

මේ පිළිබඳ අදහස් දැක්වූ කඹුරුපිටිය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී එම්.පී. ගාමිණී,

”සපයන ලද කාබනික පොහොර තත්ත්වයෙන් බාල බවට ගොවීන්ගෙන් පැමිණිලි ලැබීම නිසා ගොවි ජන සේවා මධයස්ථානයේ ඉතිරි වී තිබුණු පොහොර පරීක්‍ෂා කළ විට අපටත් ඒ බව තහවුරු වුණා. මාතර දිස්ත්‍රික්කයට පොහොර සපයන එම සමාගමෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 227 ක් ලැබී තිබුණා. එයින් මෙට්‍රික් ටොන් 90 ක් කිසියම් ඩයි වර්ගයක් කලවම් කරන ලද පස් බව තහවුරු කර ගැනීමට හැකිවුණා. මෙම පොහොර බැලූ බැල්මට ලස්සනට තියෙනවා.නමුත් වතුර ටිකක් කලවම් කරල බැලුවම තනිකරම මඩ. මේ සම්බනධයෙන් අදාල සමාගම දැනුවත් කිරීමෙන් පසු රු. විසි අට ලක්‍ෂ හැත්තදාහක් වටිනා එම පොහොර තොගය වෙනුවට අළුතින් කාබනික පොහොර ලබාදීමට එම සමාගම එකගවී තියෙනවා. මේ පිළිබඳ වගකිවයුතු ආයතන දැනුවත් කර තියෙනවා.”

Aruna