Thursday, February 12, 2026
Follow Us
එලඹෙන දින 4 තෙල් පෝලිම්වලට යන්න එපා

බලශක්ති ඇමැතිගෙන් විශේෂ නිවේදනයක්


ඉදිරි දින 3-4 තුළ පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ අද (19) වන විට මෙරට ඇති ඉන්ධන සංචිතය ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8,300ක් CPC සතුව ඇති බවත් LIOC සමාගම සතුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10,000ක් පවතින බවත් ය.

ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නෞකාවන් ලෙස මෙම මස 23 වෙනිදා පෙට්‍රල් රැගත් නෞකාවක් සහ 24 වෙනිදා ඩීසල් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත අතර මෙම මස 29 වෙනිදා සහ ජුලී මස 10 වෙනිදා බොර තෙල් රැගත් නෞකාවන් දෙකක් පැමිණීමට නියමිතයි.

ඉදිරියේදී ත්‍රිරෝද රථ, පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ, සෞඛ්‍ය සේවා ද ඇතුළුව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා දින වෙන් කර ඉන්ධන බෙදා දීමේ වැඩපිළිවෙලක් සූදානම් කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙරටට අවශ්‍ය ඉන්ධන ඉල්ලුම සැපයීම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සිදුකළ නොහැකි බවත් ලංකා IOC වැනි තවත් සමාගම් මෙරට ඉන්ධන සැපයුම් ක්‍රියාවලියට එක් කර ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත් ය.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ හැකි තරම් ගමන් බිමන් සීමා කරන ලෙසත් සාමාන්‍ය ජනතාව විනෝද ගමන් යෑමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත.

Aruna