Thursday, February 12, 2026
Follow Us
තෙල් හා ගෑස් ප්‍රශ්නෙට ජනපතිගෙන් විසදුමක්

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවක්


දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධනහල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇත.

මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත.

සැපැයුම්කරුවන් සමග දීර්ඝකාලීනව ඉන්ධන ලබා ගැනීම සඳහා ගිවිසුම්ගත වීමට ඇති හැකියාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.

ඉන්ධන බෙදා හැරීමේදී පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව හිමි වන අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිරවුම්හල් යොදාගනිමින් පෞද්ගලික හා සංචාරක බස් සහ පාසල් වෑන්වලට පොලිසියේ අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අනිකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා හඳුනාගත් ඉන්ධන පිරවුම් හල් වෙතින් ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමටත් පිරවුම් හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සැපැයීමටත් තීරණය කර ඇති බවට වාර්තා වී ඇත.

අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ආරක්ෂක අංශවලට නියෝග කරනු ලැබීය.පවතින ගෑස් තොග ක්‍රමානුකූලව බෙදා හැරීමටත් ප්‍රමාණවත් ගෑස් තොග කඩිනමින් ඇණවුම් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් වී ඇති බවට වාර්තා වී තිබේ..

Aruna