දුම්රිය සඳහා අවශ්‍ය අමතර කොටස් සහ ඔයිල් තොග අවමවීම හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ධාවනයට දැඩි බලපෑම් එල්ලවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. පවතින තොග අවමවීමට හේතුවී ඇත්තේ ඒවා ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැතිවීමයි.
ඇතැම් අමතර කොටස් ආනයනය කර මෙරටට ගෙන්වීමට මාස 03 කට අධික කාලයක් ගත වනවා. මේ හේතුවෙන් ඉදිරියේදී ධාවනය කිරීමට සිදුවන දුම්රිය ප්‍රමාණය ද අඩුවිය හැකි බවයි එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.
මේ වන විට දුම්රිය මගින් ගමන් ගන්නා පිරිස සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් දුම්රියවල එන්ජිම කොටසේ සහ වහල මත නැග මගීන් ගමන් ගන්නා ආකාරයක් ඉකුත් දින කිහිපයේදීම දැකගත හැකි වුණා.
දෛනිකව දුම්රිය ගමන් වාර 420 ක් පමණ ධාවනයට එක් කෙරෙනවා. මේ හේතුවෙන් දුම්රිය මාර්ග ද නිසි කලට අලුත්වැඩියා කළ යුතුයි. එහෙත් දුම්රිය මාර්ගයේ ඇතැම් අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට නොහැකිව ඇත්තේ ඊට අදාළ රේල් පීලි සහ අමතර කොටස් ප්‍රමාණවත් පරිදි නොමැතිවීම හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.
Neth