දෙස් විදෙස් ආයෝජකයින් උනන්දු කරන්න
කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහා (16දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
දීර්ඝ කාලයක සිට පවතින නීති – රීති ආයෝජන සඳහා දැඩි බාධාවක්ව පවතී. ආයෝජන දිරිගැන්වීම වෙනුවෙන් නව උපායමාර්ග අනුගමනය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
විදේශ විනිමය ඉපැයිය හැකි කර්මාන්ත හඳුනාගෙන ඒවායේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි වැඩපිළිවෙළ කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව, විදේශ විනිමය අර්බුදය හමුවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග සහ පිළියම් පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.
දේශීය කර්මාන්ත සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේය. එහි ප්‍රධාන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ඉතා කෙටි කාලයකදී එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කියා සිටි. මැණික් කර්මාන්තයෙන් ඉපැයිය හැකි විදේශ විනිමය ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පැවතුණ ද පවතින නීති – රීති හේතුවෙන් මැණික් සඳහා නිසි ලාභයක් මෙරටට හිමි නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කර්මාන්ත සඳහා අනුමැතිය ලබාදෙන සියලු ආයතන එකම මේසයක සිට පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට පියවර නොගත හොත් ආයෝජකයන් දිනාගත නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
Aruna