Thursday, February 12, 2026
Follow Us
රැය නොනිදන ඉන්ධන පෝලිම් මැද ඉන්දියාවේ අවසන් ඩීසල් නැව අද එයි

ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන අවසන් ඉන්ධන නෞකාව අද මෙරටට ලගා වීමට නියමිතව තිබෙනවා. එලෙස පැමිණෙන්නේ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,0000ක් අඩංගු නෞකාවක්. මෙම නෞකාව අද මෙරටට පැමිණෙන්නේ දින ගණනක් ඩීසල් නොමැතිව ජනතාව පෝලිම්වල රැඳී සිටින පසුබිමකයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන සඳහා මෙරටට ලබාදීමට නියමිත ඩොලර් මිලියන 500ක ණය ආධාරයට අදාල ගිවිසුමට දෙපාර්ෂවය අතර කඩිනමින් අත්සන් කරන බවයි.

මේ අතර දිවයින පුරා ඉන්ධන පෝලිම් තවදුරටත් දිගු වී තිබෙනවා. ඒ අතරින් වැඩි වශයෙන් දක්නට ඇත්තේ ඩීසල් පෝලිම්. ඇතැම් පිරිස් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැදී සිටින්නේ දින කිහිපයක සිටයි. ඒ, ඉන්ධන නොමැතිව ඇතැම් පිරවුම්හල් වසා ඇති පසුබිමක් තුලයි. අද අලුයම ද නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකි වූයේ ඇතැම් පිරිස් සිය වාහන ඉන්ධන පෝලිමේ තබා ඉන් පිටව ගොස් සිටි ආකාරයයි.

ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ පෙට්‍රල් තොග ලැබී තිබුණා. කෙසේවෙතත් පෙට්‍රල් ලබා ගැනීමට ද ඉන්ධන පිරවුම්හල් අසල තිබුණේ දිගු පෝලිම්.

මේ අතර අද දිනයේ ඉන්ධන බෙදා හැරෙන ප්‍රදේශ හා පිරවුම්හල් පිළිබඳ තොරතුරු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම තොරතුරු මෙතැනින් ලබා ගත හැකිය.

මේ අතර පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමට පෙර මුදල් ගෙවිය යුතු බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත් ඉන්ධන මිල ගණන් ඉහලයාම හමුවේ එකවර එවැනි මුදලක් ගෙවීමට අපහසු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර කෑන් සඳහා ඉන්ධන නිකුත් නොකරන ලෙසට ඛණිජ තෙල් සංස්ථාව දන්වා ඇති පසුබිමක නිට්ටඹුව අරංගල්ල පිරවුම්හලේ ඊයේ දිනයේ කෑන් සඳහා ඉන්ධන ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ද දැනුවත් කිරීමට එහි සිටි පිරිස් කටයුතු කර තිබුණා. එහෙත් ඊට විසදුමක් ලබාදීමට ඔවුන් කිසිවෙකුත් කටයුතු කර නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

Neth