Thursday, February 12, 2026
Follow Us
කොළඹ කුණු එකතු කිරීම නවතී

ඉන්ධන හිඟයෙන් කුණු හිරවෙයි


පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් අද දින (14) සිට කොළඹ දිස්ත්‍රික්කයේ දිසා බල ප්‍රදේශ දෙකක අපද්‍රව්‍ය එකතු කිරීම හා ගළි බවුසර් සේවාව තාවකාලිකව නැවැත්වීමට සිදු වන බව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ස්ථාවර කාරක සභාවේ සභාපති මහේන්ද්‍ර සිල්වා පැවසුවේය. ඒ බොරැල්ල හා මැද කොළඹ ප්‍රදේශයන්හිය. කොළඹ දිස්ත්‍රික්කය තුළ දිසා කාර්යාල හයක් පිහිටා ඇති අතර ඉන් බොරැල්ල හා මැද කොළඹ පමණක් කොළඹ මහ නගර සභාව මගින් පාලනය වේ. ඉතිරි දිසා කාර්යාල පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ට ඉන්ධන ගැටලුවක් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.

කොළඹ නගර සභාව විසින් පාලනය වන එක් ප්‍රදේශයක් තුළ කම්පැක්ටර් අපද්‍රව්‍ය ට්‍රක් රථ 20ක් පමණ දිනකට ක්‍රියාත්මක වන බවත් ඊයේ (13දා) දින අපද්‍රව්‍ය රැස් කළ පසු අද සිට ඉන්ධන ලැබෙන තෙක් එම ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය රැස් කිරීම නැවැත්වීමට සිදුවන බව හෙතෙම කීය.

සභාපතිවරයා සඳහන් කළේ නගර සභාවේ අපද්‍රව්‍ය එකතු කිරීමට යොදාගන්නා කොම්පැක්ටර් ට්‍රක් රථ හා ගළි බවුසර් සඳහා ඉන්ධන ලබාදීමට බොරැල්ල කැම්බල් උද්‍යානයේ හා මාදම්පිටියේ ඉන්ධන පිරවුම්හල් දෙකක් පැවති නමුත් මේ වනවිට ඉන් ක්‍රියාත්මක වන්නේ මාදම්පිටියේ ඉන්ධන පිරවුම්හල පමණක් බවය.

වසර දෙකක සිට අලුත්වැඩියා කටයුත්තක් සඳහා කැම්බල් උද්‍යානයේ ඉන්ධන පිරවුම්හල වසා දමා ඇති බව කී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ කැම්බල් උද්‍යානයේ ඉන්ධන ගබඩාකර තැබීම අත්‍යවශ්‍ය දෙයක් නොවන බවට නාගරික භාණ්ඩාගාරිකවරයා පැවසූ බවය. මෙතෙක් කල් එය නැවත පිළිසකර කර දෙන ලෙස විවිධ ඉල්ලීම් කළද නාගරික භාණ්ඩාගාරිකවරයා සහ නාගරික කොමසාරිස්වරයා ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් නොදැක්වූ බවද සභාපතිවරයා අවධාරණය කළේය.

මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශය තෙක් පිහිටා ඇති දිසා කාර්යාල පහේම අපද්‍රව්‍ය එකතු කිරීමට යොදාගන්නා ට්‍රක්රථ බොහෝ දුර ගෙවා ඉන්ධන ලබාගැනීමට පැමිණීමට සිදුව ඇත්තේ මාදම්පිටියට බව සභාපතිවරයා කීවේය.

Aruna