Friday, February 13, 2026
Follow Us
පාස්පෝට් ඔන්ලයින් ඡායාරූප මෘදුකාංගය අක්‍රීය වෙයි

සේවා ලබාගැනීමට එන ජනතාව දිගු පෝලිම්වල


විදේශ ගමන් බලපත්‍ර සකස් කිරිම සඳහා ලබා ගන්නා ඡායාරූප ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ යොමු කරන මෘදුකාංගය සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව ඡායාරූප හිමියන්ගේ සංගමය විසින් ප්‍රකාශ කර තිබේ.

ඡායාරූප හිමියන්ගේ සංගමයේ සභාපති රනිල් රූපසිංහ සඳහන් කළේ එම නිසා විදේශගත වීමට අපේක්ෂිත සියලු පුද්ගලයින් ඡායාරූප ලබාගැනීමට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුවන බවයි.

මීට වසර කිහිපයකට පෙර නව නව තාක්ෂනය භාවිතා කරමින් මෙම මෘදුකාංගය හඳුන්වා දුන්නේ විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ජනතාව පැමිණ ඇතිවන තදබදය අවම කිරිම සඳහා ය.

එමගින් විදේශගත වීමට අපේක්ෂිත පුද්ගලයෙකුට තම ප්‍රදේශයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලාවකින් අදාළ ඡායාරූපය ලබා ගෙන ඔන්ලයින් ක්‍රමය ඔස්සේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීමේ හැකියාව තිබුණි.

නමුත් මෙම තත්ත්වය මත දින ගණනාවක් පුරා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණෙන අතර ඔවුන්ට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවී ඇත.

අදාළ මෘදුකාංගය අක්‍රීය වීම හමුවේ තම ඡායාරූප ආයතන වෙත ජනතාව නොපැමිණීමත් සමඟ සිය ආදායම් අහිමි වී ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවී ඇති බව ඡායාරූප හිමියන්ගේ සංගමයේ සභාපති රනිල් රූපසිංහ කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේය.

Aruna