Friday, February 13, 2026
Follow Us
අපරාධ ගැන බිය පලවෙද්දී පොලීසියේත් ඉන්ධන කපයි

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොලීසියට ලබාදෙන මාසික ඉන්ධන ප්‍රමාණය සියයට 20 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ දිනයේ සිටයි. පොලිස්පතිවරයා විසින් ඊට අදාළ උපදෙස් කොට්ඨාශ භාර නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර සියලුම පොලිස් ස්ථාන හා ඒකකයන්ට අනියුක්ත එක් එක් වාහන හා යතුරුපැදි සඳහා වෙන් කර ඇති මාසික ඉන්ධන ලීටර් ප්‍රමාණය සියයට 15 ක් අඩු කර ලබාදෙන ලෙස ඉකුත් අප්‍රේල් 11 වනදා වන විට ද දන්වා තිබුණා. එය තවත් සියයට 5 කින් වැඩි කර මාසික ඉන්ධන ප්‍රමාණය සමස්ථයක් ලෙස සියයට 20 කින් අඩු කිරීමටයි නියෝග කර ඇත්තේ. මෙම ඉන්ධන සීමා කිරීම නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි.

මෙම වර්ෂය සඳහා එක් එක් කොට්ඨාශ වෙත වෙන් කර ඇති ඉන්ධන ප්‍රතිපාදන වැඩි කිරීමේ හැකියාවක් නොමැති බවද පොලිස්පතිවරයා දන්වා තිබෙනවා. විදුලි කප්පාදුවක් සිදුවන අවස්ථාවේ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී ද අත්‍යවශ්‍ය අවස්ථාවන් හඳුනාගෙන එය ක්‍රියාත්මක කරන ලෙසටයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නේරංජි විජේවර්ධන පැවසුවේ කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා ආර්ථික අර්බුදය දරුණු ලෙස බලපෑම හේතුවෙන් රට තුළ අපරාධ සංස්කෘතිකයක් බිහිවනු ඇති බවයි.

Neth