Friday, February 13, 2026
Follow Us
නව යුද්ධ හමුදාපති අද වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ අද වැඩ භාර ගැනිමට නියමිතව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේජර් ජෙනරාල් විකුම් ලියනගේ යුද හමුදාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුවේ ඊයේ දිනයේදියි. දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ අද යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමත් සමග ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කිරීමට නියමිතයි.

මාතලේ, විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මේජර් ජෙනරාල් විකුම් ලියනගේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වන්නේ 1986 වසරේ ඔක්තෝබර් 27 වන දිනයි. ඒ, දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යා පීඨයෙන් සහ පාකිස්ථාන හමුදා ඇකඩමියෙන් මූලික හමුදා පුහුණුව ලබා ගජබා රෙජිමේන්තුවේ දෙවන ලුතිතන්වරයෙකු ලෙසයි.

35 වසරක කීර්තිමත් හමුදා දිවිය තුළ 04වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරී, කණ්ඩායම් භාර නිලධාරී අණදෙන, අණදෙන නිලධාරී, බලසේනා, සේනාංක, ආරක්ෂක සේනා අණදීමේ තනතුරු ඇතුළු මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් දරා ඇති ඔහු ඇමරිකාව, ඉන්දියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක ආරක්ෂක සහ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා තිබෙනවා.

මානුෂීය මෙහෙයුමේ දී 57 සහ 56 සේනාංකවල 8වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් විකුම් ලියනගේ

එල් ටී ටී ඊ ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබාදීමට සමත් වූ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙක්. ඒ වෙනුවෙන් රණවික්‍රම, රණශූර පදක්කම්, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම ඇතුළු පදක්කම් රැසක් ඔහු විසින් හිමිකරගෙන තිබෙනවා.

මේ අතර යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීි ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගියා. ඒ අනුව ඔහු අද සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබෙනවා.

Neth