ලංකාවේ ආර්ථිකයෙන් සතුන්ටත් බලපෑම්
දෙහිවල සත්වෝද්‍යානය ඇතුලු අනෙකුත් සත්වෝද්‍යානවල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම මේ වනවිට උග්‍ර තත්වයට පත්ව ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
ඊට අදාළ සාකච්ඡාවක් වනජීවී දෙපාර්තමේන්තුවේදී අද(31) පෙරවරුවේ පැවති අවස්ථාවේදී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ බව ප්‍රකාශ කර තිබේ.
විදේශීය මෙන්ම දේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් සත්වෝද්‍යානවල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණපා ඇති බව දෙපාර්තමේන්තු නිලධාරීන් එම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.
එසේම නඩු භාණ්ඩ වශයෙන් සිටින අලි, රැකබලාගැනීම සඳහා වසරකට රුපියල් මිලියන 45ක මුදලක් වැයවන බවද මෙහි දී අනාවරණ වුණි.
සත්වෝද්‍යානවලට ආහාර සැපයුම් සිදු කළ සැපයුම්කරුවන්ට මේ වනවිට රුපියල් මිලියන 59ක මුදලක් හිඟ මුදල් වශයෙන් ගෙවීමට පවතින බවත් වසරේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමඟ අඩුම තරමින් රුපියල් මිලියන 120ක පමණ මුදලක් අවශ්‍යව පවතින බවත් මෙහි දී නිලධාරීන් පෙන්වා දී තිබේ.
සතුන් රැකබලාගැනීමේ ආයතනවල කැපකරු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස මෙහිදී විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර සතුන් රැක බලා ගැනීම සඳහා රජය විසින් සියලු පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
Aruna