Friday, February 13, 2026
Follow Us
මහ බැංකු අධිපතිට රජයේ පූර්ණ සහය

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සංජීව ජයවර්ධන සමඟ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

පත්ව කෙටි කාලයක් ඇතුළත පැවති මූල්‍ය අර්බුදය පාලනයටත්, යහපත් අතට හැරවීමටත් මහ බැංකු අධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැසසුමට ලක්වී තිබෙනවා.

ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දේශපාලන මැදිහත්වීමකින් තොරව එම වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යාමට රජය සහාය වන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

මේ වනවිට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමෙන් සමාජ, ආර්ථික ස්ථාවරභාවය ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මූල්‍ය මණ්ඩලය ජාත්‍යන්තරව සිදුකරන ක්‍රියාදාමයේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය අවස්ථාවලදී රාජ්‍ය නායක මට්ටමේ මැදිහත්වීමට තමා සූදානම් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Neth