සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, මාස දෙකකට පසුවයි. බොරතෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ඉකුත් මාර්තු 21 වනදා සම්පුර්ණයෙන්ම නතර කෙරුණා.
මෙලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වූයේ මෙරට මුහුදේ නැංගුරම්ලා තිබූ බොර තෙල් නැවේ මෙට්ට්‍රික් ටොන් 79,000ක තොගය ගොඩබෑම ඊයේ ආරම්භ කිරීමත් සමගයි. ඩොලර් නොමැතිවීම හේතුවෙන් මෙම නෞකාවද මාසයයි දින දෙකක කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජේගුණරත්න පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි.
පළමුව පෙට්‍රල් සහ ඩීසල් පිරිපහදුවෙන් ලබාදීමට සැලසුම් කර ඇති බවයි ඔහු පැවසුවේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමත් සමග විදුලි උත්පාදනයට අවශ්‍ය නැප්තා මෙන්ම භූමිතෙල් ද ලබාගැනීමට හැකි වනවා.
ගුවන් යානා ඉන්ධන පවා ලබාදීමට පැවති බාධා හේතුවෙන් මෙරටට පැමිණි ජාත්‍යන්තර ගුවන් යානා බොහොමයක් ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට ඉන්ධන ලබාගැනීම සදහා ගමන් කරමින් ඇති බවටයි නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළේ. ඒ අනුව පිරිපහදුව ආරම්භ කිරීමත් සමග එම ගැටළුවට විසදුමක් ලැබෙනු ඇති.
Neth